එළවළු මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව අධික වර්ෂාවෙන් වගාවන් විනාශ වීමයි

එළවළු මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව අධික වර්ෂාවෙන් වගාවන් විනාශ වීමයි

එළවළු මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව අධික වර්ෂාවෙන් එළවළු වගාවන් විනාශ වීම බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

මේ වනවිට වෙළෙඳපොළේ උඩරට හා පහතරට එළවළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාම සම්බන්ධව මෙන්ම මේ වනවිට මෙරට එළවළු වගාවන් සම්බන්ධව පවතින තත්ත්වය සම්බන්ධව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් කරුණු විමසීමක් කළ ඇති බව සඳහන්.

මාස කිහිපයක සිට දිවයින පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් මේ වනවිට සියලු වගාවන්ට හානි සිදුවී ඇති බවත්, දැනට වෙළෙඳපළට ලැබෙමින් පවතින්නේ සීමිත එළවළු ප්‍රමාණයක් බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරිහු පෙන්වා දෙනවා.

විශේෂයෙන් මහ කන්නයේ පුළුල් ලෙස එළවළු වගා කිරීමට ගොවී ජනතාව සුදානම්ව සිටි අතර ඇතැම් ගොවීන් කිහිප වතාවක්ම එළවළු බීජ රෝපණය කළත් ඒ සියල්ලම වැස්සට හසු වී කුණු වී ගිය බවයි ඔවුන් වැඩි දුරටත් සන්ධාන කරන්නේ.

දැනට වෙළෙඳපොළට ලැබෙන එළවළුවලින් විශාල ප්‍රමාණයක් ආරක්ෂිත ගෘහ තුළ වගා කරන ලද එළවළු වනවා.

එහෙත් එම ප්‍රමාණය රටේ සමස්ත එළවළු අවශ්‍යතාවයට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.

එමෙන්ම එළවළු මිල ඉහළ යාමට අතරමැදියන් විසින් සිදු කරන බලපෑම් ද හේතු වී තිබෙනවා.

කෙසේ වෙතත් ඉදිරි සති හයක කාලයක් තුළ මෙම තත්ත්වය වෙනස් විය හැකි අතර එවිට අලෙවි කර ගත නොහැකි තරම් විශාල එළවළු අස්වැන්නක් වෙළෙඳ පොළට ලැබෙන බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This