කන්දකාඩු ගොවිපල සෝගම්, බඩඉරිඟු, සෝයා සහ තෘණ වගාවට

කන්දකාඩු ගොවිපල සෝගම්, බඩඉරිඟු, සෝයා සහ තෘණ වගාවට

2022 මහ කන්නයේදී පොළොන්නරුව කන්දකාඩු ගොවිපල සත්ව ආහාර නිෂ්පාදනයට ප්‍රමුඛත්වය ලබා දෙමින් වගා කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ශ්‍රී ලංකාවේ දැනට පවතින සත්ව ආහාර හිඟය තුරන් කරලීම සඳහා එළඹෙන මහ කන්නයේදී පොළොන්නරුව කන්දකාඩු ගොවිපල සත්ව ආහාර නිෂ්පාදනයට අවශ්‍ය සෝගම්, බඩඉරිඟු, සෝයා සහ තෘණ වගාවට ප්‍රමුඛත්වය ලබාදීමට පියවර ගත යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කන්දකාඩු ගොවිපල මින් පෙර මහවැලි අධිකාරිය යටතේ පැවති අතර, එම ගොවිපලේ දීර්ඝකාලීන බෝග වගා කිරීම සඳහා දේශීය ව්‍යවසායකයින් 52ක් තෝරාගෙන තිබුණා.

එහෙත් එම ගොවිපල මෑතකදී ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට පැවරීම නිසා එම පනත යටතේ ඉඩම් ලබා දිය හැක්කේ දීර්ඝකාලීන බෝගවලට නොව කෙටිකාලීන බෝගවලටයි.

කන්දකාඩු ගොවිපලේ ඉඩම් අක්කර 1215ක් යුද හමුදාව විසින් ද, තවත් අක්කර 250ක් පුනරුත්ථාපන අධිකාරිය විසින් ද වගා කිරීමට නියමිතයි.

ඉතිරි ඉඩම් කෙටිකාලීන බෝග වගාවට අභිමතය පළ කරන ව්‍යවසායකයින්ට ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

Share This