
කහවත්ත, පලන්සුරියගම ප්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකා සහ පොලිස් ආරක්ෂාව
රත්නපුර කහවත්ත පලන්සුරියගම ප්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ පොලිස් ආරක්ෂාව මේ වන විට යොදවා තිබෙනවා.
මේ අතර රත්නපුර කහවත්ත ප්‍රදේශයේ පසුගියදා සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය තරුණයාගේ අවසන් කටයුතුවලින් පසුව කහවත්ත, පලන්සූරියගම ප්‍රදේශයේ දී පොලිසිය සහ ප්‍රදේශවාසීන් අතර හටගත් නොසන්සුන්තාවයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා අද පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඊයේ ඇති වූ එම නොසන්සුන් තත්ත්වය පාලනය කිරීමට පොලිසියට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට ද සිදුවුණා.
වෙඩි තැබීමෙන් මියගිය 22 හැවිරිදි ඉමන්ත සුරංජිත් නැමැති අදාළ තරුණයාගේ අවසන් කටයුතු සිදුවන අවස්ථාවේ එහි ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 150ක පමණ පිරිසක් යොදවා තිබූ අතර එම අවස්ථාවේ ප්‍රදේශවාසීන් පොලිසියට ගල් මුල් ප්‍රහාර එල්ල කළා.
එම තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පලන්සුරියගම ප්‍රදේශයේ පදිංචි ඩුබායි අමිල නැමැත්තාගේ නිවස ඉදිිරිපිටට ප්‍රදේශවාසීන් පැමිණි අවස්ථාවේදීයි මෙලෙස කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කෙරුණේ.
කෙසේ වෙතත් එම අවස්ථාවේ ප්‍රදේශවාසීන් පිරිසක් එම සැකකරුගේ නිවසේ තිබූ ත්‍රිරෝද රථයකට සහ යතුරුපැදියකට ද ගිනි තබා තිබුණා.
එම අවස්ථාවේ පොලිසිය සහ ප්‍රදේශවාසීන් අතර ඇති වූ නොසන්සුන්තාවයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලැබු අතර ඔවුන් මේ වන විට කහවත්ත මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.