ක්‍රිප්ටෝ මුදල් ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්

ක්‍රිප්ටෝ මුදල් ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්

ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) භාවිතය සහ එහි ආයෝජනය සම්බන්ධයෙන් සැළකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට දැනුම්දෙනවා.

ක්‍රිප්ටෝ මුදල් රටක පිළිගත් මූල්‍ය අධිකාරියක මැදිහත්වීමකින් තොරව පුද්ගලික වශයෙන් ජනනය කරනු ලබන අතථ්‍ය මුදල් වර්ගයක් ලෙසයි සැළකෙන්නේ.

ක්‍රිප්ටෝ මුදල් ලාභදායි ආයෝජන ක්‍රමයක් ලෙස විවිධ පුද්ගලයින් සහ ව්‍යාපාර විසින් පුළුල් ලෙස ප්‍රවර්ධනය කරනු ලබන බව නිරීක්ෂණය වී ඇති නමුත් එසේ සිදුකරනු ලැබූ ආයෝජනවලින් මහජනතාවට විශාල ලෙස මූල්‍ය පාඩු සිදුව ඇති බව මෑතකාලීනව ලැබුණු පැමිණිලිවලින් පෙනී යන බව මහ බැංකුව පෙන්වා දී තිබෙනවා.

මෑත කාලයේ සිදු වූ ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධ ව්‍යාපාරවල නිරත වූ විවිධ ගෝලීය ආයතනවල කඩා වැටීම් සහ ඇතැම් ක්‍රිප්ටෝ මුදල්වල ස්ථාවරත්වය අඩු වී යාමෙන් ඒවායේ වටිනාකම බෙහෙවින් අඩු වීමත් සමඟ මෙම අවදානම් සහ ගැටළු නැවතත් තහවුරු වූ බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ.

එමෙන්ම ක්‍රිප්ටෝ මුදල් ශ්‍රී ලංකාව තුළ පිළිගත් වත්කම් ප්‍රභේදයක් නොවන අතර එය නියාමනය නොවන ආයෝජන උපකරණයක් බවට මහජනතාව වෙත නැවතත් අවධාරණය කරන බව ප්‍රකාශ කරන මහ බැංකුව ක්‍රිප්ටෝ මුදල් ශ්‍රී ලංකාව තුළ වලංගු මුදල් (Legal Tender) ලෙස නොසලකන බව පෙන්වා දී තිබෙනවා.

ඒවායේ භාවිතය සම්බන්ධයෙන් ද මෙරට තුළ නියාමන ආරක්ෂණයක් නොමැති බව සඳහන්.

2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නිකුත් කරන ලද 2021 අංක 03 දරන නියෝගය ප්‍රකාරව ක්‍රිප්ටෝ මුදල් ගනුදෙනු හා සම්බන්ධ ගෙවීම් සඳහා හර කාඩ්පත් (Debit Cards) සහ ණය කාඩ්පත් (Credit Cards) වැනි විද්‍යුත් මුදල් හුවමාරු කිරීමේ කාඩ්පත් (Electronic Fund Transfer Cards) භාවිතා කිරීමට ද අවසර නොමැති බව මහ බැංකුව සඳහන් කළා.

ක්‍රිප්ටෝ මුදල් අවිධිමත් මාධ්‍ය හරහා ක්‍රියාත්මක වන බැවින් එය ජාතික ආර්ථිකයට දායකත්වයක් නොදක්වන අතර රටට වටිනා විදේශ මුදල් අහිමි වීමට ද එය හේතුවක් විය හැකි බවයි මහ බැංකුව පෙන්වාදෙන්නේ.

ක්‍රිප්ටෝ මුදල්වල ආයෝජන කර ඉහළ ප්‍රතිලාභ ලබාදෙන බවට පොරොන්දු වෙමින් ක්‍රියාත්මක වන මූල්‍ය වංචාවන්වල සීඝ්‍ර වර්ධනයක් පෙනී යන බව සඳහන් කරන මහ බැංකුව ක්‍රිප්ටෝ මුදල්වල ආයෝජනය කිරීම මගින් අධික ප්‍රතිලාභ ලබාදීමේ පොරොන්දුව ඇතිව පුද්ගලයන්ගෙන් වංචනික ලෙස මුදල් ලබා ගැනීම මෙන්ම වංචනික ක්‍රිප්ටෝ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීම වෙනුවෙන් පුද්ගලයින් රැවටීම ද මෙම වංචාවලට ඇතුළත් බව සඳහන්.

මෙම වංචාවන් පිළිගත් නියාමන සහ නෛතික ආරක්ෂණ යාන්ත්‍රණයන් මග හරින අතර එහි ප්‍රතිඵලයක් ලෙස මහජනතාවට සිය මහන්සියෙන් උපයාගත් ධනය අහිමිව යන බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සඳහා කිසිදු පුද්ගලයෙකුට, ආයතනයකට කිසිදු බලපත්‍රයක් හෝ අවසරයක් ලබා දී නොමැති අතර ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධ මූලික කාසි නිකුතුවකට (Initial Coin Offering) හෝ එහි කිසිදු ප්‍රභේදයකට, ක්‍රිප්ටෝ මුදල් ජනනය කිරීමේ කාර්යයකට (Cryptocurrency Mining Operations), ක්‍රිප්ටෝ මුදල් හුවමාරුවකට (Cryptocurrency Exchange), ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධ තැන්පතු භාරගැනීම හෝ භාරකාර සේවා සැපයීමට හෝ ක්‍රිප්ටෝ මුදල් ආයෝජන උපදේශන සේවාවන් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කිසිදු අනුමැතියක් ලබාදී නොමැති බව සඳහන්.

එමෙන්ම ක්‍රිප්ටෝ මුදල් හා සම්බන්ධව පවතින විවිධ ආකාරයේ අවදානම් සහ එමගින් මහජනතාවට ඇතිවන මුල්‍යමය අලාභ ඇතුලු අනෙකුත් අපහසුතාවයන් සැළකිල්ලට ගනිමින්, ක්‍රිප්ටෝ මුදල්වල ආයෝජනය කිරීම ප්‍රවර්ධනය කරන සහ එසේ ප්‍රවර්ධනයට සහය දෙන පාර්ශ්වයන් වෙත එවැනි කටයුතුවලින් වළකින ලෙස ද ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාව වෙත දැඩිව අවධාරණය කර තිබෙනවා.

Share This