පෞද්ගලික භාවිතය සඳහා නිකුත් කර තිබෙන ‘ක්‍රෙඩිට් කාඩ්වලින්’ ව්‍යාපාරික කටයුතු කරන්න බැහැ

පෞද්ගලික භාවිතය සඳහා නිකුත් කර තිබෙන ‘ක්‍රෙඩිට් කාඩ්වලින්’ ව්‍යාපාරික කටයුතු කරන්න බැහැ

පෞද්ගලික භාවිතය සඳහා බැංකු මඟින් නිකුත් කර තිබෙන ක්‍රෙඩිට් කාඩ්පත් ව්‍යාපාරික අරමුණු සඳහා භාවිත කළ නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනි ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මහත්මිය ඊයේ (19) සඳහන් කර තිබෙනවා.

ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කර විදේශීය භාණ්ඩ සහ සේවා ලබාගැනීමේ දී ඇති වී තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීම්වලට පිළිතුරු දෙමින් ඇය ඒ බව සඳහන් කර තිබුණා.

ඒ අනුව විදේශීය මුදල් ඒකකවලින් පවතින, විදේශීය භාණ්ඩ සහ සේවා ලබාගැනීමේ දී පෞද්ගලික අවශ්‍යතාවලට සීමා පැනවීමක් කර නොමැති බව ඇය සඳහන් කර තිබෙනවා.

මීට අදාළව ඉකුත් මාර්තු මාසයේ දී චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව ද ඇය පැවැසුවා.

ක්‍රෙඩිට් කාඩ් පත් භාවිතයෙන් සූම් යනාදී අධ්‍යාපන සේවාවලට අවශ්‍ය වන සහ විශාල මුදලක් ගෙවීමට සිදුවන පෞද්ගලික අවශ්‍යතා සඳහා මෙහි බලපෑම සම්බන්ධයෙන් සොයා බැලීමක් කරන බව ද ඇය පවසා තිබුණා.

විදේශ ‌ගෙවීම් සිදුකිරීමේ දී ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අමතර ගාස්තු අයකිරීමක් වාණිජ බැංකු විසින් මේ වන විට සිදුකරන අතර ඒ සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජාත්‍යන්තර මෙහෙයුම් සහ විදේශ විනිමය දෙපාර්තමේන්තුව ඔස්සේ එය සොයා බලන බව ද ඇය පැවැසුවා.

“මේක මේ දවස් කිහිපයේම අපිට අහන්න ලැබුණු දෙයක්. ණය කාඩ්පපත්වලින් ගෙවීම් සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කිසිම අලුත් නීතියක් පනවා හෝ ඒසේ කාඩ්පත් ගෙවීම් නවත්වන්න කියලා නැහැ. දැනට තියෙන නීතිය තමයි ණය කාඩ්පතක් පාවිච්චි කරන්න පුළුවන් තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයකට අවශ්‍ය කරන දෙයක් ලබා ගන්න. ‌වෙළෙඳාමක් වගේ දේකට භාණ්ඩ ලබාගන්න පාවිච්චි කරන්න බැහැ. නමුත් සාමාන්‍යයෙන් තමුන්ගේ පාවිච්චියට අන්තර්ජාලයෙන් භාණ්ඩ මිල දී ගන්න, අධ්‍යාපන ආයතනයකට ගෙවීමක් කිරීම වැනි සාමාන්‍යයෙන් කරන කටයුතු කරන්න තාම පුළුවන්. ඒකට කිසිම බාධාවක් අපේ නීතිවලින් ඇතිකරලා නැහැ.” ඇය තවදුරටත් සඳහන් කර තිබුණා.

ක්‍රෙඩිට් කාඩ්පත් හරහා විදේශ ගෙවීම් සිදුකිරීමේ දී බැංකු විසින් යම් යම් සීමා පනවා ඇති බවක් වාර්තා වී තිබෙන බව මාධ්‍යවේදීන් විමසා සිටි අතර ඊට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා මෙසේ සඳහන් කර තිබෙනවා.

“ඔබට පුද්ගලික පරිහරණයට ලැප්ටොප් පරිගණකයක් ක්‍රෙඩිට් කාඩ්පත භාවිත කරලා ඒය මිල දී ගන්න පුළුවන්. නමුත් ඔබ වාණිජ අරමුණක් ඇතිව ලැප්ටොප් 10 ක් හෝ 15 ක් මිල දී ගන්න කටයුතු කරනවා නම් ඒය ප්‍රශ්නයක් විය හැකියි”.

Share This