කුළුබඩු ප්‍රතිඅපනයනයට අවසර දුන් ගැසට් නිවේදනය අත්හිටුවයි

කුළුබඩු ප්‍රතිඅපනයනයට අවසර දුන් ගැසට් නිවේදනය අත්හිටුවයි

ගම්මිරිස් ඇතුළු කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දීමට රජය විසින් පළ කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කහ, ඉඟුරු හා කරදමුංගු යනාදී ශ්‍රී ලංකාවේ වැවෙන කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දෙමින් රජය විසින් පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා.

ඊයේ (11) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ ගැසට් නිවේදනය සම්බන්ධව සිය විරුද්ධත්වය පළ කර තිබෙනවා.

විශේෂයෙන් මෙම කුළුබඩු වර්ග ප්‍රතිඅපනයනය සඳහා ආනයනයට අවසරදීම මඟින් දේශීය කුළුබඩු ගොවියා අධෛර්මත් වන බවත්, දේශීය කුළුබඩු නිෂ්පාදන වගාව කඩා වැටෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දී ඇති බව සඳහන්.

අදාළ කරුණු සැළකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය අදාළ ගැසට් නිවේදනය අත්හිටුවීමට සහ ප්‍රතිඅපනයනය සඳහා කුළුබඩු මෙරටට ආනයනය කිරීම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම දේශීය කුළුබඩුවල ප්‍රමිතිය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා දීර්ඝ අධ්‍යයනයක් සිදුකිරීමටත්, දේශීය කුළුබඩු වැවිලි බෝගයන් ලෙස තවදුරටත් නැංවීම සඳහා රජය මඟින් ඉටු කළ යුතු කාර්යභාරය සම්බන්ධවත් අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කරන ලද බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ.

Share This