කෙහෙල් බද්දර පද්මේ ගෙන් ඉෂාරා සෙව්වන්දි ගැන හෝඩුවාවක්

කෙහෙල් බද්දර පද්මේ ගෙන් ඉෂාරා සෙව්වන්දි ගැන හෝඩුවාවක්

ගණේමුල්ල සංජීව ඝාතනයේ මහමොළකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය ඩුබායි රාජ්‍ය වෙත පලා ගොස් පසුව වෙනත් රටකට පිටව ගොස් ඇති බවට අනාවරණ වී තිබෙනවා.

ඒ බව අනාවරණ වී ඇත්තේ ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආ අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ ලබාදුන් තොරතුරු මතයි.

මේ අතර බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයේ ස්ථානාධිපති ලින්ටන් ද සිල්වා මහතාට දුරකථනයෙන් මරණ තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෙහෙල්බද්දර පද්මේ විසින් ගුවන්තොටුපළ පරිශ්‍රයේදී සමාව ඉල්ලා තිබුණා.

මෙරට ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන මන්දිනු පද්මසිරි නොහොත් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයන් පස්දෙනෙකු ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදි අත්අඩංගුවට පත්වුණේ ඉකුත් බදාදායි.

ඒ මෙරට පොලිසිය සහ ඉන්දුනීසියානු පොලිසිය එකාබද්ධව සිදුකළ මෙහෙයුමකදීයි.

ඒ අනුව පෙරේදා පස්වරුවේ ඔවුන් දිවයිනට රැගෙන ආවේ විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේයි.

අනතුරුව කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත සහ පානදුරේ නිලංග යන සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතත්, බැකෝ සමන් සහ තැඹිලි ලහිරු යන සැකකරුවන් දෙදෙනා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය වෙතත් රැගෙන ගියා.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ආ බැකෝ සමන් සහ තැඹිලි ලහිරු යන සැකකරුවන් දෙදෙනා රැඳවුම් නියෝග මත කොළඹ වරාය පොලිසියේ ඇති විශේෂ සිර මැදිරියක රඳවා ප්‍රශ්න කිරීම් සිදුකෙරෙන අතර ඔවුන් ලබාදුන් ප්‍රකාශ මත තවත් ස්ථාන කිහිපයකම විමර්ශන ආරම්භ කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව මිද්දෙණියේ කජ්ජා ඝාතනය පිළිබඳව ද තොරතුරු රැසක් අනාවරණ වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් සඳහන් කර ඇත්තේ තමන් සමඟ සිටින තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන අමින්ද රොෂාන් හෙවත් ධරුන් නැමැත්තාගෙන්, මිද්දෙණියේ කජ්ජා මත්ද්‍රව්‍ය මිලදී ගෙන අදාළ මුදල් නොගෙවීම නිසා එම ඝාතනය සිදුකර ඇති බවටයි.

එමෙන්ම බැකෝ සමන් නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ අනෙක් සැකකරුවන් සියලුදෙනා මේ වන විට සිය ජංගම දුරකථන විසන්ධි කර සැඟව සිටින බවටද තොරතුරු වාර්තා වනවා.

මේ අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ, පානදුරේ නිලංග, කමාන්ඩෝ සලින්ත යන තිදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ සිරමැදිරි තුනක රඳවා තිබෙනවා.

එහිදී කෙහෙල්බද්දර පද්මේගෙන් ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවෙකු වන ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය සැඟව සිටින ස්ථානය පිළිබඳව නිලධාරීන් විමසීමක් සිදුකර ඇත්තේ එහිදීයි.

ඔහු පවසා ඇත්තේ, ඇය ඩුබායි රාජ්‍ය වෙත පලා ගොස් පසුව වෙනත් රටකට ගොස් ඇති බවටයි.

සැකකරුවන්ගෙන් දැනට සිදුකර ඇති ප්‍රශ්න කිරීම්වලදී තොරතුරු රැසක් අනාවරණ කර ගැනීමට විමර්ශන නිලධාරීන් සමත්ව ඇති අතර ඔවුන් මෙරටින් පලා ගියේ කෙසේද, ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබියදී රටවල් අතර හුවමාරු වූයේ කෙසේද, ඊට සහය දැක්වූයේ කවුද යන්න පිළිබඳව ද විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළා.

 

 

Share This