
කෙහෙළියගේ බැංකු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු ගැන අධිකරණ නියෝගයක්
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සමාජිකයින් පිරිසකට අයත් රුපියල් මිලියන 97 කට අධික බැංකු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු අත්හිටුවමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා
අල්ලස් කොමිසම විසින් කරනු ලැබූ කරුණු දැක්වීමක් සලකා බැලීමෙන් අනතුරුවයි මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ
දැනට සිදුකරන විමර්ශනයකට අදාළව අල්ලස් කොමිසම විසින් දූෂණ විරෝධී පනත යටතේ තම කොමිසමට පැවරී තිබෙන බලතල ප්‍රකාරව කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයින්ට අයත් රුපියල් මිලියන 97 කට අධික ස්ථාවර තැන්පතු බැංකු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු තහනම් කරමින් නියෝගයක් නිකුත් කිරීමට තීරණය කර තිබුණා
එම තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලෙස අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලූ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ලබන ඔක්තෝබර් මස 04 වනදා තෙක් බල පැවැත්වෙන පරිදි අදාළ බැංකු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු අත්හිටුවමින් නියෝගයක් නිකුත් කළා
එමෙන්ම එදින මෙම විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙසත් නියෝග කර තිබෙනවා