
කොටහේන පාසල් දැරිය සියදිවි නසාගැනීමේ පරීක්ෂණ ප්‍රගතිය දැනුම් දෙන්නැයි අධිකරණයෙන් නියෝග
උඩු මහලින් බිමට පැන සියදිවි නසා ගත් කොටහේන ප්‍රදේශයේ පදිංචි පාසල් දැරිය, ලිංගික අපයෝජනයට ලක් කළේ යැයි චෝදනා කරමින් ගුරුවරයෙකුට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලේ විමර්ශනවල ප්‍රගතිය ජුලි මස 07 වැනිදා දැනුම් දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා පොලිසියට නියෝග කළා.
ඒ අද (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු ව කැඳවූ අවස්ථාවේදීයි.
එහිදී විමර්ශන සිදු කරන උතුරු කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිණියන් අධිකරණයට දැනුම් දුන්නේ මියගිය දැරියගේ මවගෙන් සහ තවත් පාසල් සිසුවියන් තුන්දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.
ඊට අමතරව ගුරුවරියකගෙන්ද ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙන බව පොලිසිය පැවසුවා.
මෙම විර්ශනවලට අවශ්‍ය කරන අදාළ පාසලේ සීසීටීවී කැමරාවල ඩි.වී.ආර් යන්ත්‍රය වෙනත් විමර්ශනයක් සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට රැගෙන ගොස් ඇති බවත් එය ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කිරීමට කටයුතු කරන බවත් පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියා.
එම යන්ත්‍රය ලබාගැනීමට පමා වූයේ ඇයි දැයි ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරයා එය කඩිනමින් ලබාගෙන ඉදිරි විමර්ශන සිදු කරන ලෙස පොලිසියට එහිදී නියෝග කළා.
අතිරේක මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේ ඉන් අනතුරුව පැමිණිල්ල ජුලි මස 07 වැනිදා යළි කැඳවීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින මෙම පරීක්ෂණවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසයි.