කොවිඩ් ආසාදිතවීමෙන් තවත් තිදරු මවක් මිය යයි

කොවිඩ් ආසාදිතවීමෙන් තවත් තිදරු මවක් මිය යයි

කොරෝනා ආසාදිත වූ මවක් සීසේරියන් සැත්කමෙන් තම තුන්වන දරුවා බිහි කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබෙනවා

ගම්පහ මාකවිට ප්‍රදේශයේ පදිංචි තිස්එක් හැවිරිදි තිදරු මවක් මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ

මියගිය මව උණ රෝගයෙන් පෙළීම හේතුවෙන් ගම්පහ පෞද්ගලික රෝහලකට ඉකුත් 15 වැනිදා ඇතුළත් කිරීමෙන් අනතුරුව සිදුකළ ‍රැපිට් ඇන්ටිජන් පරීක්ෂණයේදී කොවිඩ් ආසාදිත වී ඇති බවට තහවුරු වී තිබෙනවා

ඉන් අනතුරුව ඉකුත් 17 වැනිදා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බවත් පසුව ඉකුත් විසි එක්වැනිදා රෝහලේ වෛද්‍යවරුන් බිරියට සිසේරියන් සැත්කමක් සිදුකර දරුවාට මෙලොව එළිය දැකීමට ඉඩ සැලසූ බවත් මරණකාරියගේ සැමියා හදිසි මරණ පරීක්ෂණයේ සාක්ෂි දී තිබෙනවා

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී 29 වැනිදා දිලිනි මහත්මිය මියගොස් තිබූ බවට හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා

මියගිය එම මවගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් පවත්වා ඇති අතර කොවිඩ් නියුමෝනියා රෝගය උත්සන්න වීමෙන් එම මරණය සිදුවී ඇති බවට නිගමනය කර තිබෙන බවයි වාර්තා වන්නේ

මියගිය මෙම මව බිහි කළ පිරිමි දරුවා නිරෝගීව සිටින බවද ගම්පහ රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

Share This