කොස්ගම දී කොටහැර පොඩ්ඩාට වෙඩි තිබ්බේ මන්නා රමේෂ් ගේ කල්ලියෙන් ද සැකයක් (VIDEO)

කොස්ගම දී කොටහැර පොඩ්ඩාට වෙඩි තිබ්බේ මන්නා රමේෂ් ගේ කල්ලියෙන් ද සැකයක් (VIDEO)

යතුරුපැදියකින් පැමිණි සන්නද්ධ පුද්ගලයින් දෙදෙනෙකු සිදු කළ වෙඩි තැබීමකින් 12 හැවිරිදි දැරියක් ඇතුළු තිදෙනෙකු තුවාල ලැබුවා.

රාත්‍රි සංගීත සංදර්ශනයක් නරඹා ආපසු ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී ඔවුන් මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදීයි.

සංගීත සංදර්ශනයක් නරඹා හංවැල්ල ප්‍රදේශයේ සිට අවිස්සාවේල්ල දෙසට ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයක මඟ අවහිර කළ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු අද අලුයම එම ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි පිරිස ඉලක්ක කර වෙඩි තැබීමක් සිදු කළා.

කොස්ගම පොලිස් වසමේ සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථය නැවතූ යතුරු පැදිකරුවන් දෙදෙනා ත්‍රිරෝද රථයේ දකුණුපසට පැමිණ එහි ගමන් කරමින් සිටි පිරිසට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර යළි ත්‍රිරෝද රථයේ වම්පසටද පැමිණ වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.

ත්‍රිරෝද රථයේ ගමන් ගත් 12 හැවිරිදි දැරියක්, ඇගේ මව සහ තවත් පිරිමි පුද්ගලයෙකු මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබුවා.

කුලී පදනම මත ලබා ගත් ත්‍රිරෝද රථයේ රියදුරු වෙඩි ප්‍රහාරවල ඉලක්කය වී නොතිබූ අතර ඔහුට කිසිඳු තුවාලයක් සිදුව නැහැ.

පිස්තෝල වර්ගයේ ගිනි අවියක් යොදා ගෙන මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට පොලිසිය සැක කරන අතර වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 9ක් සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් අතර සිටි 44 හැවිරිදි පිරිමි පුද්ගලයා ත්‍රිරෝද රථයෙන් බැස ඇල මාර්ගයක් ඔස්සේ පළා ගොස් අසළ තිබූ නිවසක සැගවී සිට ඇති බවට පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලින් හෙළිව තිබෙනවා.

රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ 12 හැවිරිදි දැරිය ඇතුළු තුවාලකරුවන් අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වූ 44 හැවිරිදි පිරිමි පුද්ගලයා කොටහැර පොඩ්ඩා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සංවිධානාත්මක අපරාධකරු බවට හඳුනාගෙන ඇති අතර ඔහුට එරෙහිව පහරදීම්, කප්පම්ගැනීම් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන්ද චෝදනා පවතින බවට වාර්තා වනවා.

දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක රමේෂ් ප්‍රියජනක නොහොත් මන්නා රමේෂ් සහ මොහු අතර කලක සිට ආරවුල් පවතින බව වාර්තා වන අතර මන්නා රමේෂ්ගේ වැඩිමහල් සොහොයුරාට මෙම පුද්ගලයා ඇතුළු පිරිසක් සිදු කළ පහරදීමකින් එම සොහොයුරා මේ වන විට රෝගී තත්ත්වයෙන් පසුවන බවට ද තොරතුරු වාර්තා වනවා.

ඒ හේතුවෙන් මන්නා රමේෂ් සහ මොහු අතර දිගින් දිගටම ගැටුම් තිබී ඇති අතර මන්නා රමේෂ්ගේ පාර්ශ්වයෙන් මෙම වෙඩි තැබීම සිදු කළේ ද යන්න සම්බන්ධයෙන්ද සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

එමෙන්ම පසුගිය මාර්තු මාසයේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ හෝටලයක ආහාර ගනිමින් සිටි පිරිසකට පහරදීමේ සිද්ධියකටද මෙම වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයාට චෝදනා පවතින බවයි වාර්තා වන්නේ.

මොහුට එරෙහිව මත්ද්‍රව්‍ය චෝදනා ද පවතින අතර හංවැල්ල ප්‍රදේශයේ ක්‍රියාත්මක අනෙකුත් අපරාධ කණ්ඩායම් මෙම වෙඩි තැබීමට සම්බන්ධ වී ඇත්ද යන්න පිළිබඳවද පොලිසියේ අවධානය යොමුව තිබෙනවා.

අදාළ වෙඩි තැබීමෙන් පසු කොස්ගම පොලිස් වසමේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණු අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ පූගොඩ කඳවුරේ නිලධාරීන් සමඟ ඊට රුවන්වැල්ල, ගලපිටමඩ, නූරිය, දෙහිඕවිට සහ කොස්ගම පොලිස් ස්ථානවල නිලධාරීන්ද එක්වුණා.

Share This