
කොළඹ මහ නගර සභාවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවට එරෙහිව පියවර ගන්නවා – විපක්ෂ නායක
කොළඹ මහ නගර සභාවේ 26 වැනි නගරාධිපති ලෙස ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය අද තේරී පත් වුණා.
ඒ කොළඹ මහ නගර සභාවේ මංගල සභා වාරයේදී නගරාධිපති තෝරා පත් කර ගැනීම සඳහා වූ පැවති රහස් ඡන්දයෙන්.
එහිදී ජාතික ජන බලවේගයේ නගරාධිපති ධුර අපේක්ෂක ලෙස ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ඡන්ද 61 ක් ලබා ගත් අතර සමගි ජන බලවේගයේ රිසා සරුක්ට හිමි වූයේ ඡන්ද 54ක් පමණයි.
ඒ අනුව ජාතික ජන බලවේගයට සභික ධුර 48ක්, සමගි ජන බලවේගයට සභික ධුර 29ක්, එක්සත් ජාතික පක්ෂයට සභික ධුර 13ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභික ධුර 05ක් හිමිවුණා.
ඊට අමතරව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සභික ධුර 04ක්, ස්වාධීන කණ්ඩායම් අංක 03ට සභික ධුර 03ක්, සර්වජන බලයට සභික ධුර 02ක්, එක්සත් සාම සන්ධානයට සභික ධුර 02ක් ඡන්ද ප්‍රතිඵලවලට අනුව ලැබී තිබුණා.
ස්වාධීන කණ්ඩායම් අංක 04 සහ 05ට සභික ධුර දෙක බැගින් 04ක් හිමිවූ අතර එක්සත් ජනරජ පෙරමුණ, ජාතික ජනතා පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පොදුජන එක්සත් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය, ස්වාධීන කණ්ඩායම් අංක 01 සහ ස්වාධීන කණ්ඩායම් අංක 02ට එක් සභික ධුරය බැගින් හිමි වුණා.
එවන් පසුබිමක බලය පිහිටුවීම සම්බන්ධයෙන් දැඩි කතාබහකට ලක්වූ කොළඹ මහ නගර සභාවේ මංගල සැසිවාරය අද පෙරවරු 9.30 ට පමණ බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.
කොළඹ මහ නගර සභාවේ මංගල සභා වාරයේ මූලිකම කාර්ය ලෙස ඉදිරිපත් වුණේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිධුරය සඳහා සභිකයෙකු තෝරා පත් කර ගැනීමයි.
එහිදී නගරාධිපතිවරයා සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ව්‍රායි කැලී බල්තසාර් මහත්මියගේ නම යෝජනා වූ අතර විපක්ෂය නියෝජනය කරමින් සමගි ජන බලවේගයේ රිසා සාරුක් මහතාගේ නම යෝජනා වුණා.
ඒ අනුව නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීමක් කොළඹ නාගරික කොමසාරිස්වරිය විසින් යෝජනා කළ අතර ඊට ජාතික ජන බලවේගය විසින් රහස්‍ය ඡන්දයක් සහ සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයෙන් විවෘත ඡන්දයක් ඉල්ලා සිටි අතර ඒත් සමඟම ඇති වූයේ උණුසුම් තත්ත්වයක්.
කෙසේ වෙතත් පසුව කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට කොළඹ නාගරික කොමසාරිස්වරිය තීරණය කළා.
ඒ අනුව රහස් ඡන්දය අද පෙරවරු 10.40ට පමණ ආරම්භ වුණා.
නගරාධිපති ලෙස ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය වැඩිඡන්දයෙන් පත් වූ අතර, නියෝජ්‍ය නගරාධිපති ධුරය හිමි වූයේ ජාතික ජන බලවේගයේ හේමන්ත කුමාරටයි.
මේ අතර කොළඹ මහ නගර සභිවේ නව නගරාධිපති ඇතුලු නිලධාරී මණ්ඩලය පත් කිරීමට අදාළ ගැසට් පත්‍රය අද රාත්‍රියේ නිකුත් කරන බව බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර මහත්මිය අප කළ විමසීමකදී ප්‍රකාශ කළා.
මේ අතර කොළඹ නගර සභාවේ සභිකයන් 60ක් අත්සන් කර විවෘත ඡන්දයක් ඉල්ලා සිටින විට ඒ ඉල්ලීම පැහැර හරින්නේ කෙසේදැයි ගැටලුවක් ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු පැවසුවේ මාර්ගෝපදේශ අමුඅමුවේ උල්ලංඝනය කර කොළඹ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන ගණනාවක කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් බවයි.
මාර්ගෝපදේශ පැහැර හැර රහස් ඡන්දයක් පැවැත්වීම නිසා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත්, මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවට එරෙහිව ගත යුතු සියලුම පියවර ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.