කොළඹ මහ නගර සභාවේ හෙට බලය අල්ලන්නේ කවුද?

කොළඹ මහ නගර සභාවේ හෙට බලය අල්ලන්නේ කවුද?

දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතා බහට ලක්ව ඇති කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරා ගැනීම හෙට සිදු කිරීමට නියමිතයි.

ඒ නගර සභාවේ සියයට 50කට වැඩි බලයක් කිසිදු පක්ෂයට ලැබී නොමැති පසුබිමකයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජන බලවේගය කොළඹ මහ නගර සභාව ජයග්‍රහණය කළ නමුත් ඔවුන්ට පාලනය පිහිටුවීම සඳහා බහුතර බලය හිමි කර ගැනීමට අවස්ථාව අහිමි වුණා.

එහිදී ඡන්ද 81,814ක් ලබා ගනිමින් කොළඹ මහ නගර සභාව ජයග්‍රහණය කළ ජාතික ජන බලවේගය මන්ත්‍රී ආසන 48ක් හිමිකර ගනු ලැබූ නමුත් බලය පිහිටුවීම සඳහා එක් දේශපාලන පක්ෂයක් මන්ත්‍රී ආසන 59ක් හිමිකර ගත යුතුයි.

කෙසේ නමුත් ප්‍රධාන විපක්ෂය වූ සමගි ජන බලවේගය ඡන්ද 58,375ක් ලබා ගනිමින් මන්ත්‍රී ආසන 29ක් හිමි කර ගත් අතර සෙසු පක්ෂ ලෙස එක්සත් ජාතික පක්ෂය ඡන්ද 26,297ක් හිමිකර ගනිමින් මන්ත්‍රී ආසන 13ක් ද පොදුජන පෙරමුණ 9,314ක් ලබා ගනිමින් මන්ත්‍රී ආසන 05ක්ද, මුස්ලිම් කොංග්‍රසය ඡන්ද 8,630ක් ලබා ගනිමින් මන්ත්‍රී ආසන 04ත් සහ සර්වජන බලය ඡන්ද 3,911ක් ලබා ගනිමින් මන්ත්‍රී ආසන 02ක් ද හිමි කරගනු ලැබුවා.

සෙසු පක්ෂ කිහිපයක් සහ ස්වාධීන කණ්ඩායම් 5ක් එක් මන්ත්‍රී ආසනය බැගින් මෙහිදී හිමිකරගත් අතර කොළඹ නගර සභාවේ බලය පිහිටුවීමේදි ආණ්ඩු පාර්ශ්වයට හෝ විපක්ෂයට මෙම පක්ෂවල සහයෝගය බලය පිහිටුවීමේදි අනිවාර්යයෙන්ම ලබා ගත යුතුව වනවා.

ජාතික ජන බලවේගයට කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා තවත් මන්ත්‍රී ධුර 11ක් අවශ්‍ය වනු ඇති අතර, ප්‍රධාන විපක්ෂය වූ සමගි ජන බලවේගයට කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා තවත් මන්ත්‍රී ආසන 30ක් අවශ්‍යයි.

ඒ අනුව පළාත් පාලන කොමසාරිස්වරයාගේ මූලිකත්වයෙන් පළමු සභා වාරය කැඳවා ඡන්දයක් පවත්වා නගරාධිපති සහ උපනගරාධිපති තෝරා ගැනීමට සිදුවනු ඇති.

 

Share This