කෝටි 30 කට විකුණන්න ගිය ගජමුතු, ඇත්දළ, කොටි සම් ඇතුළු වටිනා දැව සමග අයෙක් සැකපිට අල්ලයි

කෝටි 30 කට විකුණන්න ගිය ගජමුතු, ඇත්දළ, කොටි සම් ඇතුළු වටිනා දැව සමග අයෙක් සැකපිට අල්ලයි

කෝටි 30 කට විකිණීමට සැලසුම් කළ ගජමුතු , ඇත්දළ, කොටි සම් ඇතුළු වටිනා දැව විකිණීමට තැත්කළ ජාවාරම්කරුවෙක් වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රිටිගල අඩවි ආරක්ෂක කාර්යාලයට ලද තොරතුරක් අනුව පසුගිය පෙබරවාරි මස සිට සැලසුම් සකස් කර උපාය දූතයන් ලෙස වෙස්වලාගනිමින් වනජීවී නිලධාරීන් විසින් ඊයේ (17) මහියංගනය ප්‍රදේශයේ වැටලීමක් සිදුකළා.

මහියංගනය ආදිවාසී ගම්මානයේ පුද්ගලයෙකු විසින් කෝටි 30 කට විකිණීමට සැලසුම් කළ ගජමුතු 30 ක් , ඇත්දළ කුඩා කොටසක්, කොටි සම් කොටස්, කොටි තෙල් ඇතුළු වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතින් දැඩි ලෙස ආරක්ෂිත කළුවර ලී කොටස් 07 ක්, දඹ ලී කොටස් 35 ක් වශයෙන් වටිනා දුර්ලභ දැව විශාල ප්‍රමාණයක් , කොටන තුවක්කුවක් සකස් කිරීමට ගන්නා අමතර කොටස්, මදු සකස් කිරීමට ගන්නා කේබල් ඇතුළු නීතිවිරෝධී උපකරණ ද එහිදී වනජීවී භාරයට ගැනීමට සමත් වී තිබෙනවා.

අප වාර්තාකරු පවසන්නේ මේ වනවිට එම සැකකරු ගිරාඳුරුකෝට්ටේ අලි පාලන ඒකකයට රැගෙනවිත් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බවයි.

මෙම වැටලීමේ දී ගුවන් හමුදා බුද්ධි අංශයේ සහය ද වනජීවී නිලධාරීන් වෙත ලබාදී ඇති අතර මෙම වැටලීම ඉතිහාසයේ වැඩිම ගජමුතු ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් අවස්ථාව බවට පත්වෙනවා.

මාදුරුඔය ජාතික උද්‍යානය ආසන්නයේ මෙම ආදිවාසී ගම්මානය පිහිටා තිබෙන අතර එම ජාතික උද්‍යානය තුළ සිදුකළ ගජමුතු හා දැව ජාවාරමක් ද යන්න විමර්ශන ක්‍රියාත්මකයි.

 

 

Share This