ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාර පොලිසියේ කොස්තාපල්ට ඇප

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාර පොලිසියේ කොස්තාපල්ට ඇප

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයක් තුල දී ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට පලායාමට මෝටර් රථයක් ලබාදී ආධාර අනුබල දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාස පහකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතුරුගිරිය පොලිසියේ කොස්තාපල්වරයෙකු වන හසිත රොෂාන් නැමැත්තා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය අද(16) නියෝග කළා.

සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසට සැකකරුට අධිකරණයෙන් අවවාද කර ඇති අතර රුපියල් පනස් දහසක මුදල් හා රුපියල් ලක්ෂ විසිපහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මාස පහකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුට ඇප ලබා දෙන ලෙස ඉල්ලා නීතිඥ මර්වින් ද සිල්වා මහතා කොළඹ මහාධිකරණයට ගොනුකර තිබූ පෙත්සමත් සලකා බැලීමෙන් අනතුරුවයි ඔහුට ඇප අනුමත කර ඇත්තේ.

ඒ අනුව මහාධිකරණය මගින් ලබාදී තිබූ ඇප කොන්දේසි සැකකරුට කියවා දීමෙන් අනතුරුව මහේත්‍රාත්වරිය ඔහුව එසේ ඇප මත මුදා හරින ලෙසට නියම කළා.

බුස්ස බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරු බන්ධනාගාර නිලධාරීන් විසින් අද දැඩි ආරක්ෂක රැකවල් යටතේ රැගෙන ඒමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

Share This