
ග්‍රාමීය මාර්ග 1000 ක් හැදීමට “පුනරුදයට මග” සදහා රු. බිලියන 19 ක්
“පුනරුදයට මග” මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කරමින් අද (21) රත්මලාන, කොතලාවලපුර විදුහල අසල සිට ගෝතමී විහාරය දක්වා මාර්ගය කාපට් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ
වුණා.
මීටර් 750 පමණ දිගින් යුත් මෙම මාර්ගය කාපට් කිරීම සදහා ඇස්තමේන්තුගත කර ඇති වියදම රුපියල් මිලියන 15.1කි.
රට පුරා තෝරාගත් මාර්ග 1000 ක් සංවර්ධන කිරීමේ අරමුණින් මෙම “පුනරුදයට මග” ව්‍යාපෘතිය ආරම්භ කර ඇති අතර පළමු අදියරය ලෙස මාර්ග 57 ක් සංවර්ධනයට මුල පුරා තිබෙනවා.
මෙම ව්‍යාපෘති සදහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන 19ක් වන අතර දැනටමත් රුපියල් බිලියන 14 ක් වෙන්කර තිබෙනවා.
අද රත්මලාන මාර්ග සංවර්ධන කටයුතු ආරම්භ වුණේ වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා ගේ මූලිකත්වයෙන්.
මේ අතර හම්බන්තොට – තංගල්ල ග්‍රාමීය මාර්ග සංවර්ධන කටයුතු අද ආරම්භ කෙරුණේ නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා ගේ මූලිකත්වයෙන්.
ඒ යටතේ තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුල පිහිටි ප්‍රධාන මාර්ග දෙකක් සම්බන්ධ වන විගමුව – පට්ටියපොල මාර්ගයේ මීටර් 2300 ක් සමාරම්භ කෙරුණා.
මේ සදහා ඇස්තමේන්තුගත මුදල රු. මිලියන 70 ක්.
මෙහි විශේෂත්වය වන්නේ කොන්ත්‍රාත් ලබාදීමකින් තොරව මාර්ග සංවර්ධන අධිකාරියේ සෘජු දායකත්වයෙන් සිදු කිරීමයි.