
ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ප්‍රමිතිගත ඖෂධ මෙරටට සැපයීම ශක්තිමත් කිරීමට විධිමත් සැලසුම්
ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ප්‍රමිතිගත ඖෂධ මෙරට රාජ්‍ය අංශයට සැපයීමත් එම ඖෂධ සාධාරණ මිල ගණන් යටතේ විවෘත වෙළෙඳපොළට අඛණ්ඩව ලබා දීමත් ඉතාමත් වගකීමක් සහිතව ඉටුකිරීම සඳහා ගතයුතු සියලු පියවරයන් ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කැපවී ක්‍රියාකරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කරනු ලැබුයේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඖෂධ පිළිබඳ උපදේශන කමිටුවට සහ ඖෂධ පිළිබඳ ජාතික අභියාචනා කමිටුවට සාමාජිකයින් පත් කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ප්‍රමිතිගත ඖෂධ මෙරට රජයේ රෝහල් පද්ධතියට අඛණ්ඩව සැපයීම මෙන්ම සාධාරණ මිල ගණන් යටතේ එම ඖෂධ විවෘත වෙළෙඳපොළට ලබාදීමේ කටයුතුවලට මඟ පෙන්වීමේ ප්‍රමුඛ වගකීම ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඖෂධ පිළිබඳ උපදේශන කමිටුවට හා ඖෂධ පිළිබඳ ජාතික අභියාචනා කමිටුව වෙත පැවරෙන බවද සඳහන් කර සිටියා.
මෙරට තුළ භාවිතා කරන ඖෂධවල යම් ප්‍රමාණයක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව තුළ නිෂ්පාදනය කරනු ලබන අතර ඉතිරි ඖෂධ විදේශයෙන් ආනයනය කරන බවත් එම ගෙන්වනු ලබන සමහර ඖෂධවලින් ඖෂධ සමාගම් අසීමිත ලෙස ලැබ ඉපයූ බවද මෙම කමිටු රැස්වීමේදී අනාවරණය වී තිබෙනවා.
එමෙන්ම ඖෂධ මාෆියාවක් සමහර අවස්ථාවන්වලදී මෙරට තුළ ක්‍රියාත්මක වී තිබූ බවස කමිටු සාමාජිකයින් අමාත්‍යවරයා හමුවේ පෙන්වාදුන් බවද සඳහන්.
සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ මෙන්ම තම වෘත්තීය පිළිබඳ හසල දැනීමක් ඇති විද්වතුන් මෙම කමිටු දෙකෙහි සාමාජිකයින් ලෙස පත්කිරීමට කටයුතු කිරීමේ මූලික අරමුණ මින් ඉදිරියට එවැනි අනිසි කටයුතු ඖෂධ ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වීමට කිසිඳු ඉඩක් නොතිබීම බව අවධාරණය කළ අමාත්‍යවරයා ඒ පිළිබඳව දැඩි අවධානයකින් යුතුව කටයුතු කරන ලෙසද නව කමිටු සාමාජිකයින්ගෙන් ඉල්ලීමක් කර සිටියා.
ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතේ සියලු කරුණු බලාත්මක කිරීමට පසුගිය කාලය තුළ උතසාහ නොදැරුවත් මින් ඉදිරියට එම පනත නිසිලෙස බලාත්මක කර මෙරට අහිංසක ජනතාවට ගුණාත්මක ඖෂධ ලබාදීමේ වගකීම මෙම කමිටු දෙක දැරිය යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළ බව සඳහන්.
ඖෂධ සම්බන්ධයෙන් යම් ගැටලු පවතින්නේ නම් එයට විසඳුම් ලබාදීමේ අරමුණින් ජාතික අභියාචනා කමිටුව ස්ථාපිත කළ බවත් ඒ සඳහා සියලු දෙනාට යහපත් අරමුණින් මෙයට දායකත්වය දැක්විය හැකි බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.