චෙම්මනි සමූහ මිනී වළෙන් හමුවූ මළ සිරුරු 130 ක් දක්වා ඉහළට

චෙම්මනි සමූහ මිනී වළෙන් හමුවූ මළ සිරුරු 130 ක් දක්වා ඉහළට

ආන්දෝලනාත්මක චෙම්මනි සමූහ මිනී වළ තුළින් හමුවූ මළ සිරුරු ප්‍රමාණය මේ වනවිට 130ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම සොහොන්වලින් ගොඩගත් සාක්ෂි හඳුනා ගැනීමට හෙට සිට ඒවා මහජනතාවට ප්‍රදර්ශනය කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

දශක තුනකට අධික කාලයක් මුළුල්ලේ පැවති යුද්ධයෙන් අනතුරුව උතුරු පළාත ආශ්‍රිතව හඳුනාගත් දෙවන විශාලතම සමූහ මිනී වළ ලෙස සැලකෙන්නේ යාපනය චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමියයි.

ඉකුත් පෙබරවාරි මස 20 වැනිදා එම සුසාන භූමිය ආශ්‍රිතව සිදු කෙරුණු කැනීම් කටයුත්තකදී පළමු වරට එහි තිබී මිනිස් අස්ථි කොටස් කිහිපයක් සොයාගැනුණු අතර ඒ පිළිබඳව යාපනය පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුවයි යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ එහි කැණීම් කටයුතු ඇරඹුවේ.

ඒ අනුව ඉකුත් මැයි මස 15 වැනිදා සිට එහි කැනීම් කටයුතු ආරම්භ කෙරුණු අතර ඊයේ දිනයේ සිදු කළ කැනීම්වලින් සොයා ගත් මිනිස් සිරුරු 04ක ප්‍රමාණයත් සමඟ මේ වනවිට චෙම්මනි සමූහ මිනී වළ තුළින් සොයාගත් සමස්ථ සිරුරු ගණන 130ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ නමුත් මේ වනවිට එයින් මිනිස් සිරුරු 120කට අදාළ අස්ථි කොටස් ගොඩ ගෙන ඇති අතර අදාළ කැනීම් තුළින් මිනිස් අස්ථි නොවන ද්‍රව්‍යමය කොටස් රැසක්ද හඳුනාගෙන ඇති බවයි පර්යේෂකයන් පෙන්වා දී තිබුණේ.

එම අස්ථි කොටස් නොවන අනෙකුත් ද්‍රව්‍ය හඳුනාගැනීමට මහජන සහයෝගය ලබා ගත යුතු බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් සිදු කර තිබූ අතර ඉන් ලැබූ අවසරය මත චෙම්මනි සමූහ මිනි වළෙන් හමුවූ මිනිස් අස්ථි නොවන අනෙකුත් ද්‍රව්‍යමය කොටස් හඳුනාගැනීම සඳහා ඒවා මහජන ප්‍රදර්ශනයට තැබීමට තීරණය වී ඇත්තේ.

ඒ අනුව හෙට පස්වරු 1.30සිට සවස 05 දක්වා කාලය තුළ සමූහ මිනී වළ සීමාවේ එම අස්ථි නොවන ද්‍රව්‍යවමය කොටස් මහජන ප්‍රදර්ශනයට තැබෙන අතර එම හඳුනාගැනීමේ ප්‍රදර්ශනය හරහා යම් පුද්ගලයෙකු කිසියම් ද්‍රව්‍යමය කොටසක් හඳුනාගතහොත් ඒ ඔස්සේ පරීක්ෂණ පැවැත්වීම සිදු කිරීමට අධිකරණ නියෝග ලබා ගැනීමටද නියමිත බවයි කැණීම් නිලධාරීන් සඳහන් කළේ.

චෙම්මනි සමූහ මිනී වළෙන් සොයා ගත් ද්‍රව්‍යමය කොටස් අතර සෙල්ලම් බෝනික්කෙකු, සපත්තු යුගළක්, කුඩා දරුවෙකුගේ වළලු යුගලක්, කිරි බෝතලයක්, මිනිස් ඇඳුම් කොටස් කිහිපයක් ඇතුළු ද්‍රව්‍ය වන බව නිරීක්ෂකයින් පෙන්වා දෙනු ලැබුවා.

මේ අතර අද සහ හෙට සමූහ මිනී වළ සම්බන්ධයෙන් විශේෂ ස්කෑන් පරික්ෂණයක් ද සිදු කිරීමට නියමිත බව එහි කැනීම් නිරීක්ෂකයින් පවසනවා.

අධිකරණ නියෝග යටතේ ආරක්ෂක අමාත්‍යශයේද අනුමැතියට යටත්ව එම ස්කෑන් පරීක්ෂණය සිදු කෙරෙන අතර එහි වැඩිදුර විමර්ශන සඳහා අද දිනයේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනෙකු සහ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු සහ යාපනය ප්‍රාදේශීය නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් එම ප්‍රදේශයට පැමිණෙන බවටයි වාර්තා වන්නේ.

 

Share This