ජනපති නිකුත් කළ වෙසක් දින පණිවිඩය

ජනපති නිකුත් කළ වෙසක් දින පණිවිඩය

බුදුරජාණන් වහන්සේගේ අර්ථ ධර්ම මාවත මනා කොට ආදර්ශයට ගනිමින් පරාර්ථකාමීත්වය තුළ සමානාත්මතාවයෙන් සහ සමාජ සාධාරණත්වයෙන් යුතු දියුණු රටක් ගොඩනගමින් “පොහොසත් රටක් – ලස්සන ජිවිතයක්” පිළිබඳ මෙරට ජනතාවගේ අපේක්ෂා ඵල දැරීම වෙනුවෙන් තව තවත් සද් අධිෂ්ඨානයෙන් සහ වීර්යයෙන් යුතුව එක්ව කටයුතු කිරීමට ඇරයුම් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

වෙසක් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිකුත් කළ සුබ පැතුම් පණිවිඩය පහතින්…

“තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය හා පරිනිර්වාණය යන ත්රිවිධ මංගල්යය සිදුවූ වෙසක් පුන් පොහෝ දිනය සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවටම ඉතා සුවිශේෂී දිනයකි. සියලු බුද්ධ කාරක ධර්මයන් සපුරා, මාර සේනාව පරාජය කොට, මධ්යම ප්රතිපදාවෙන් ඥානය දියුණු කර, චතුරාර්ය සත්යය අවබෝධ කොට, සියලු කෙලෙසුන් නසා සම්යක් සම්බුද්ධත්වයට පත්වූයේ මෙවන් අසිරිමත් වෙසක් දිනයකදීය. උන්වහන්සේ සියලු දුක් ඉවසා, සසරින් සසරට ජීවිත ගණනාවකදී පෙරුම් පුරා පරාර්ථචර්යාවෙන් අවබෝධ කරගත් ධර්මය සියලු ලෝකවාසීන්ගේ ආධ්යාත්මික හිත සුව පිණිසම හේතු සාධක විය.

බුදුන් වහන්සේගේ මුඛ්ය දේශනාව වූයේ ආගමික පසුබිමක හිඳ මිනිසාගේ ආධ්යාත්මික සංවර්ධනය ඇති කිරීමයි. එසේම පාලකයකු විසින් යහපත් පාලන තන්ත්රයක්‌ ගොඩනගා ගත යුතු ආකාරය පිළිබඳවද බෞද්ධ දර්ශනයේ සඳහන් වෙයි. “සබ්බං රට්ඨං සුඛං සේති – රාජා චේ හොති ධම්මිකෝ” යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කොට ඇත්තේ රටක පළමු පුරවැසියා වන පාලකයා දැහැමි වුවහොත් සියලු ජනයා සුව සේ ජීවත් වනු ඇති බවයි.
බුදුන් වහන්සේගේ දේශනාව තුළ ලෝක සාමය උදෙසා මහැගි පණිවිඩයක් ගෙන දෙන අතර එම ඉගැන්වීම් ප්රායෝගිකව වටහා ගනිමින් මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ෂා යන සතර බ්රහ්ම විහරණ අනුව කටයුතු කරමින් යුද ගිනි දැල් නිවුණු සාමකාමී ලෝකයක් වෙනුවෙන් කැපවීමේ අවශ්යතාව අන් කවරදාටත් වඩා දැඩිව මතුව තිබෙන බවද මෙහිලා සිහිපත් කරනු කැමැත්තෙමි.
ධර්මාවබෝධයෙන් සියලු සිත් සතන් ආලෝකවත් වන පින්බර වෙසක් මංගල්යයක් වේවා!

මේ අතර රට නිවැරදි පරිවර්තනයකට යොමුකරමින් සිටින අවස්ථාවක මානව සිත්සතන් සුවපත් කිරීම සඳහා වෙසක් කාලය වඩාත් සුදුසු බවට විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනවිය පවසනවා.

සිය වෙසක් දින පණිවුඩය නිකුත් කරමින් ඇය සඳහන් කරන්නේ එක්සිත්ව හා එක්සත්ව ඒ සඳහා ඇත්වැල් බැදගැනීමට සියලුම දෙනා හට ආරාධනා කරන බවත්, මේ වනවිට අතැම් රටවල පවතින යුද ගිනිදැල් නිවී සමස්ත ලෝකවාසීන්ටම සතුටින් හා සාමයෙන් ජීවත්වීමේ භාග්‍යය උදාවීම මෙරට සමස්ත රටවැසියන්ගේ මෙන්ම තමන්ගේ ද අපේක්ෂාව බවත්ය.

මේ අතර රට මුහුණ දී ඇති අභියෝග හමුවේ විසදුම් සෙවීමේ දී බෞද්ධ දර්ශනයෙන් පෙන්වා දී ඇති හේතුඵල දහම මැනවින් වටහා ගැනීම අතිශයින් වැදගත් බව වෙසක් දින පණිවිඩය නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු පෙන්වාදෙන්නේ අප රටක් වශයෙන් මුහුණ දී ඇති ගැටලු හමුවේත්, ලෝකය හමුවේ මුහුණ දී ඇති ගැටලු හමුවේත්, විසඳුම් සෙවීමට උත්සහ දරණුයේ ප්‍රශ්නයක් තුළින් පැන නැගුණු ඵලයකට මිස එම ගැටලුව පැණ නැගුණු හේතුව සොයා එය නැතිකිරීම නොවන බවයි.

යමක් ඇති වන්නේ කෙසේද එයට හේතුව සොයා බලා පිළියම් යෙදිය යුතු බවට බුදු දහමෙහි දැක්වෙන බව සිය වෙසක් දින පණිවිඩයෙන් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Share This