
ජනපති වියට්නාම ජනපති හමුවෙයි
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong)මහතා විසින් උණුසුම් අයුරින් අද (05) පිළිගනු ලැබුවා
වියට්නාම ජනාධිපති මන්දිරය වෙත අද (05) උදෑසන ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ත්‍රිවිධ හමුදා උත්තමාචාර සහිතව පිළිගත් අතර, ත්‍රිවිධ හමුදා පෙළපාලිය නිරීක්ෂණය සඳහා ද ජනාධිපතිවරයා එක්වුණා
පිළිගැනීමේ උත්සවයේදී දෙරට නායකයින් දෙදෙනා ශ්‍රී ලංකාවේ සහ වියට්නාමයේ ජාතික ගීවලට ගෞරව දැක්වීමෙන් අනතුරුව දෙරටේ නියෝජිතයින් හඳුන්වා දීම සිදු කර තිබෙනවා
ඉන් අනතුරුව ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කර ඇති අතර මෙහිදී දෙරටේ ප්‍රගති සමාලෝචනය, අනාගත සහයෝගීතා පිළිබඳ සාකච්ඡා කර, අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් කර තිබෙනවා
මෙම සංචාරය මඟින් දේශපාලන විශ්වාසය වැඩි දියුණු කිරීමට සහ දෙරට අතර විවිධ අංශ මඟින් ප්‍රායෝගික හා ඵලදායී සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කෙරෙනවා
1970 දී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීමෙන් පසු වියට්නාමය සහ ශ්‍රී ලංකාව ශක්තිමත් හා අඛණ්ඩ සබඳතා පවත්වා ගෙන ගොස් තිබෙනවා
ශ්‍රී ලංකාව සහ වියට්නාම වාර්ෂික ද්විපාර්ශ්වික වෙළඳාම, ප්‍රධාන වශයෙන් අපනයන, ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200 දක්වා ළඟා වී ඇති බව සඳහන්
ඉදිරි වසරවලදී ද්විපාර්ශ්වික වෙළඳාම අමෙරිකානු ඩොලර් බිලියන 1 දක්වා ඉහළ නැංවීමට දෙපාර්ශ්වයම ඉලක්ක කර තිබෙනවා
මේ වසරේ වියට්නාමය සහ ශ්‍රී ලංකාව රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 55 වන වසර සමරන බැවින්, අන්‍යෝන්‍ය විශ්වාසය සහ බෙදාගත් සංවර්ධන ඉලක්ක උපයෝගී කරගනිමින් සබඳතා තවදුරටත් ගැඹුරු කිරීමට දෙරට සූදානමින් සිටිනවා