ජනාධිපතිවරණයේ දී එ.ජා.ප. යට කනවැල අල්ලන්න ගිය පොහොට්ටුවේ මන්ත්‍රීලා සෙට් එකක් ආපහු එන්න ලැහැස්‍තියි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට පසුගිය ජනාධිපතිවරණයේදී නාමල් රාජපක්‍ෂ මහතා අතහැර රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට ගිය කණ්ඩායමේ සාමාජිකයන් පිරිසක් සහ නාමල් රාජපක්‍ෂ මහතා අතර, විශේෂ සාකච්ඡාවක් ඊයේ (04) පැවැත්වුණා.
එම කණ්ඩායම් දෙක නැවත ඒකාබද්ධවී දේශපාලනය කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට මෙම හමුව සංවිධාන කර තිබූ බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ.
ඒ නැවතත් එම කණ්ඩායම් දෙක ඒකාබද්ධව දේශපාලනය කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මධුර විතානගේ මහතාගේ කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි නිවසේදී පැවැති මේ සාකච්ඡාවට රනිල් වික්‍රමසිංහ මහතාට සහය දුන් පාර්ශ්වයේ රෝහිත අබේගුණවර්ධන, වෛද්‍ය රමේෂ් පතිරණ, පවිත්‍රා වන්නිආරච්චි, ජානක වක්කුඹුර, අනූප පැස්කුවෙල්, ප්‍රේමනාත් සී. දොළවත්ත, විජිත බේරුගොඩ, චින්තක මායාදුන්නේ, අජිත් රාජපක්‍ෂ ඇතුළු මන්ත්‍රි කණ්ඩායමක් සහභාගී වුණා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශ්වයෙන් නාමල් රාජපක්‍ෂ, ඩී.වී. චානක, තේනුක විදානගමගේ ඇතුළු කණ්ඩායමක් එක්වුණා.
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා සහභාගිවී සිටියේ නැහැ.
රනිල් වික්‍රමසිංහ මහතාට සහය දුන් පාර්ශ්වයේ කංචන විජේසේකර, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් හා ශෙහාන් සේමසිංහ, කනක හේරත්, තාරක බාලසූරිය ඇතුළු කණ්ඩායමක් එක් නොවීමත් මෙහිදී කැපී පෙණුනා.
මේ සාකච්ඡාවේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දුන් පාර්ශ්වය වෙනුවෙන් අදහස් පළ කර ඇති රෝහිත අබේගුණවර්ධන මහතා අවධාරණය කර තිබෙන්නේ මෙම කණ්ඩායම් දෙක තවදුරටත් බෙදී සිටින තෙක් දෙපාර්ශ්වයටම අනාගතයක් නොමැති බවයි.
නාමල් රාජපක්‍ෂ මහතා ද පවසා ඇත්තේ පක්‍ෂයෙන් ඈත්වී සිටින ජ්‍යෙෂ්ඨයන්ගේ සහය පොදුජන පෙරමුණට ලබාගැනීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවයි.
කෙසේ වෙතත් අප කළ විමසුමකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසුවේ අදාළ පිරිස නැවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගෙන පොහොට්ටුව ලකුණ යටතේ කටයුතු කරනවානම් පමණක් ඔවුන්ට තම පක්‍ෂය සමඟ එක්විය හැකි බවයි.
එසේ නොමැතිව වෙනත් කිසිදු විකල්පයක් නොමැති බව ඔහු අවධාරණය කළා.
මේ අතර, පොදුජන පෙරමුණෙන් ඉවත්ව ගිය ඊයේ සාකච්ඡාවට එක්වූ කණ්ඩායමද නැවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වීමට සූදානමින් සිටින බවයි දැනගන්නට ලැබෙන්නේ.