
ජනාධිපති අරමුදලේ සියලු සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සැපයීම නිල වශයෙන් ඇරඹේ
ජනාධිපති අරමුදලේ සියලු සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සැපයීම නිල වශයෙන් ආරම්භ කිරීම අද (21) පෙරවරුවේ කිළිනොච්චි දිස්ත්‍රික් ලේකම් කර්යාලයේදී සිදුවුණා.
ජනාධිපති අරමුදලේ සියලු සේවා කටයුතු බිම් මට්ටම දක්වා විමධ්‍යගත කිරීම සඳහා වන විශේෂ පුහුණු වැඩමුළු මාලාවේ උතුරු පළාත් වැඩමුළුව ද මීට සමගාමීව අද දිනය පුරා කිළිනොච්චි දිස්ත්‍රික් ලේකම් කර්යාලයේදී පැවැත් වුණා.
ජනාධිපති අරමුදලින් මහජනතාවට වෛද්‍යාධාර ලබාදීමේ සේවාවෙහි අයදුම්පත් භාර ගැනිම දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සිදු කිරීම පසුගිය පෙබරවාරි 07 වන දා සිට ඇරඹිණි.
මෙම වැඩසටහන ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බැවින් ජනාධිපති අරමුදලේ සෙසු සේවාද විමධ්‍යගත කිරීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනූව දිළිඳුකම පිටුදැකීමේ සහනාධාර, අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදානය, අධ්‍යාපනයෙහි දක්ෂතා දක්වන දරුවන් ඇගයීම, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ලබා දෙන සහනාධාර, වන අලින්ගෙන් පීඩාවට පත් දරුවන් වෙනුවෙන් ලබා දෙන සහන දීමනාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් මගින් අයදුම් කිරීමට ප්‍රතිලාභ අවැසි ජනතාවට අවස්ථාව උදා වනවා.
මීට අමතරව ජාතික වශයෙන් හෝ රට වෙනුවෙන් සේවය කළ අය ඇගයීම, හදිසි අනතුරු සහ ආපදා අවස්ථා සඳහා ලබා දෙන සහනාධාර ඇතුළු ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන සියලු සේවා සඳහා මාර්ගගත ප්‍රවේශය මහජනතාවට ලැබෙනු ඇති.
එනම්, වසර 47ක කාලයක් කොළඹට සීමා වී පැවති ජනාධිපති අරමුදලේ සියලු සේවා ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් මගින් අයදුම් කිරීමට ප්‍රතිලාභ අවැසි ජනතාවට අවස්ථාව උදා වීම මෙහි විශේෂත්වයයි.
ජනාධිපතිවරයා ප්‍රමුඛ ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය ගන්නා ලද තීරණයක ප්‍රතිඵලයක් ලෙස ජනතාවට මෙම පහසුකම හිමි වන අතර වැඩි පිරිසකට ප්‍රතිලාභ ලබාදීම මෙන්ම කාර්යක්ෂම සේවාවක් සැපයීම මෙයින් අපේක්ෂා කෙරෙනවා. එමෙන්ම, ජනාධිපති අරමුදල අවභාවිත වීමට ඇති ඉඩකඩද මෙමගින් සීමා වනවා.
රජයේ ඩිජිටල්කරණ සැලසුමෙහි අංගයක් ලෙස ජනාධිපති අරමුදලේ සියලු සේවා මාර්ගගත ක්‍රමයෙන් සැපයීමේ පරිගණක වැඩසටහන එළිදැක්වීමද මෙහිදී සිදු කෙරුණා.