
ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් ඩොලර් බිලියන 08ක සහනයක් ලබාගන්න හැකි වුණා -ජනපති රනිල්-
ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළව ද්විපාර්ශ්වික ණය හිමියන් වෙතින් ඩොලර් බිලියන 05ක ණය පොලී සහනයක් සහ වාණිජ ණය හිමියන් එකඟ වී ඇති ආකාරයට ඩොලර් බිලියන 03ක ණය කපා හැරීමක් සිදුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඒ අනුව ගෙවීමට තිබූ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 08ක සහනයක් රටේ ජනතාවට ලබාදීමට හැකිවී තිබෙන බවද ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ උරුමය ජාතික වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුදුසුකම්ලාභන් 73,143ක් අතුරින් පුද්ගලයන් 463ක් වෙනුවෙන් ඔප්පු ප්රදානය කිරීම වෙනුවෙන් අද (05) කුරුණෑගල පැවති උත්සවය අමතමින්.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඇතැමුන් සමාජවාදය ගැන කතා කළද, නියම සමාජවාදය ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම බවයි.
රට බන්කොලොත්භාවයෙන් මුදාගත් ආණ්ඩුව දැන් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන මඟින් තවත් ලක්ෂ 20ක ජනතාවකට ඉඩම් අයිතිය හිමිවන බවද පෙන්වාදී තිබෙන බව සඳහන්.
තමා ආණ්ඩුව භාරගත්තේ ආණ්ඩුව භාරගැනීමට නායකයන් සොයාගත නොහැකි වූ කාලයක බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා.
නිවැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් අද රට ආර්ථික අර්බුදයෙන් ගොඩඑමින් තිබෙන බවත්, නව ආර්ථිකයක් සමඟ රට ඉදිරියට ගෙන යාමේදී කුරුණෑගල දිස්ත්‍රික්කයද නව සංවර්ධන සැලැස්මක් යටතේ පුළුල් සංවර්ධනයකට ලක්වන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුර අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ.