තමිල්නාඩු ධීවරයන්ගේ නීතිවිරෝධී මසුන් මැරීම ගැන කියන්න ධීවර ඇමති – ඉන්දීය මහකොමසාරිස් මුණ ගැසේ

තමිල්නාඩු ධීවරයන්ගේ නීතිවිරෝධී මසුන් මැරීම ගැන කියන්න ධීවර ඇමති – ඉන්දීය මහකොමසාරිස් මුණ ගැසේ

තමිල්නාඩු ධීවරයන්ගේ නීතිවිරෝධී ‘Bottom trawling’ ධීවර යාත්‍රා මගින් සාගර සම්පත්වලට විශාල හානියක් සිදුවන බැවින්, එය වැළැක්වීමට පියවර ගන්නා ලෙස ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ධීවර අමාත්‍යාංශයේ අද (14) මෙම හමුව සිදු වුණා.

එහි දී ධීවර ප්‍රජාවගේ සුබසාධනය, සාගර සම්පත් සුරැකීම, ධීවර කර්මාන්තයේ සංවර්ධනය සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳව ද පුළුල් ලෙස සාකච්ඡා වූ බව ධීවර අමාත්‍යාංශ පැවසුවා.

උතුරු පළාතේ ධීවර ප්‍රජාව දශක තුනක යුද්ධයකින් පසු දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ධීවර කටයුතුවල නිරත වන බවත්, තමිල්නාඩු නීති විරෝධී මසුන් මැරීම මගින් ඔවුන්ගේ ජීවනෝපායන්ට විශාල බලපෑමක් එල්ල වී ඇති බව අමාත්‍ය චන්ද්‍රසේකර මහතා ඉන්දීය මහ කොමසාරිස්වරයාට පෙන්වා දී තිබෙනවා.

අමාත්‍යවරයා,මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා ඇත්තේ එය වැළැක්වීමට පියවර ගන්නා ලෙසයි.

ඊට ප්‍රතිචාර දැක්වූ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පවසා ඇත්තේ ‘Bottom trawling’ ධීවර ක්‍රමය තමිල්නාඩුවේ ද තහනම් කර ඇති නිසා , දැනට මෙම ධීවරයන් ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නිරත වීමට දිරිමත් කරන බවයි.

තමිල්නාඩු ධීවරයන් ද ඉතා අඩු දෛනික වැටුප් ලබන ජනතාව බව අවධාරණය කළ ඔහු, සංස්කෘතික වශයෙන් සහ එකම භාෂාව කතා කරන අය ලෙස, දෙපාර්ශ්වයේම ධීවරයන් අතර සාකච්ඡා දිරිමත් කිරීමෙන් අවබෝධයක් ඇති කිරීමටත්, ගැටලු සඳහා විසඳුම් සෙවීමටත් පදනමක් ගොඩනැගිය හැකි බව පවසා තිබෙනවා.

ධීවර අමාත්‍යාංශය සදහන් කළේ මහ කොමසාරිස්වරයාගේ ඉල්ලීම පරිදි, අනාගතයේදී දෙරටේ ධීවර ප්‍රජාවන් අතර හමුවීම් සහ සාකච්ඡා වැඩි දියුණු කර අවබෝධය ශක්තිමත් කිරීමට කටයුතු කිරීමට ධීවර අමාත්‍යවරයා එකඟතාව පළ කළ බවයි.

ධීවර කර්මාන්තයේ සංවර්ධනය පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍ය චන්ද්‍රසේකර් මහතා, උතුරු හා නැගෙනහිර පළාත්වල ධීවර වරායන් නොමැති බවත්, පේසාලෙයි (Pesalai), ගුරුනගර් (Gurunagar) සහ පේදුරු තුඩුව (Point Pedro) වැනි ස්ථානවල ඒ සඳහා ඇති හැකියාවන් පිළිබඳව ඉන්දීය මහකොමසාරිස්වරයාට පෙන්වා දී හිබෙනවා.

ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නිරත වීම සඳහා යාත්‍රා පහසුකම් සහ ගබඩා පහසුකම් උතුරු ධීවරයන්ට නොමැති බවත්, කුඩා ධීවර වරායන් එකක් හෝ දෙකක් ඉදිකිරීමට ජාත්‍යන්තර ආධාර බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා මෙහිදී දැනුම් දී තිබෙනවා.

ධීවර කර්මාන්තයට අදාළ සංවර්ධන කටයුතු සඳහා සහයෝගය ලබා දීමට ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වූ ඉන්දීය මහ කොමසාරිස්වරයා, ඉන්දීය ආධාර සහිතව පේදුරු තුඩුව ධීවර වරායේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට උනන්දුවක් දැක් වූ බව අමාත්‍යාංශය පැවසුවා.

එසේම, නාගපට්ටිනම් – කන්කසන්තුරේ මගී නෞකා සේවය මෙන් තලෙයිමන්නාරම සහ රාමේෂ්වරම් අතර මගී නෞකා සේවයක් ආරම්භ කිරීම පිළිබඳව ද සාකච්ඡා කර තිබෙනවා.

කන්කසන්තුරේ වරාය නවීකරණය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් සූදානම් කර ඇති බවත්, භාණ්ඩ ප්‍රවාහන සේවා කඩිනමින් ආරම්භ කිරීමේ හැකියාවන් පිළිබඳව ද ඉන්දීය මහ කොමසාරිස්වරයා ධීවර අමාත්‍යවර‍යාගෙන් විමසීමක් කර තිබෙනවා.

 

Share This