තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන දෙකක්

තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන දෙකක්

සියඹලාණ්ඩුව පහත්අරාව හා බිබිල තඹාන ගම්මාන දෙක තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන දෙකක් ලෙස නම් කර සංවර්ධන කටයුතු අරඹා තිබෙනවා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා හදබිම අධිකාරිය විසින් සියඹලාණ්ඩුව පහත්අරාව හා බිබිල තඹාන ගම්මාන දෙක තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීම ඊයේ (28) ආරම්භ කළා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී , රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මෙම කටයුතු ආරම්භ වුණා.

මෙම ගම්මාන දෙක තරුණ කෘෂි ව්‍යවසායකත්ව කටයුතු සංවර්ධනය සඳහා මුල් අදියර යටතේ රජය විසින් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 20 ක්.

සත්ව පාලනය, ගෙවතු වගාව ඇතුළු කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය සම්පත් බෙදා දීම ඊයේ සිදු කළ අතර මෙම ගම්මාන දෙක අවට ඇති වැව් 10ක් ප්‍රතිසංස්කරණය කර ජල සම්පාදන කටයුතු විදිමත් කිරීමට ද ඊයේ තීරණය කළා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් ජූලි මස 01 දින සිට 07 දින දක්වා තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ යටතේ ගම්මාන 160ක් දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා තෝරාගෙන ඇති බවයි සදහන් වන්නේ.

මේ සඳහා රජය විසින් වැය කරන මුදල රුපියල් මිලියන 1600ක්.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම ගම්මාන 160 තුළ විශේෂ සත්ව පාලන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි සඳහන් කළා

Share This