තරුණ කෘෂි ව්‍යවසායක ගම්මාන සතියක් ප්‍රකාශයට පත් කෙරේ

තරුණ කෘෂි ව්‍යවසායක ගම්මාන සතියක් ප්‍රකාශයට පත් කෙරේ

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් මෙරට තරුණ ප්‍රජාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්තයට ආකර්ශණය කර ගැනීමේ අරමුණින් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.

නියමු ව්‍යාපෘතියක් වශයෙන් පසුගිය වසරේ දී ගම්මාන 11ක් තෝරාගෙන මෙම වැඩ පිළිවෙළ ආරම්භ කළ අතර එම ගම්මානවල ක්‍රියාත්මක කළ සියලු ව්‍යාපෘති සාර්ථක වී ඇති බව සඳහන්.

ඒ අනුව ජූලි මස 01 දින සිට 07 දින දක්වා තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන පිහිටුවීමේ සතියක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මෙහිදී දිවයිනේ දිස්ත්‍රික්ක 25ම නියෝජනය වන පරිදි ගම්මාන 160ක් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස තෝරාගෙන සංවර්ධන කටයුතු ආරම්භ කෙරෙන අතර සියලු ව්‍යාපෘති සඳහා තරුණ ප්‍රජාවේ නියෝජනයට ප්‍රමුඛත්වය ලබාදීමට නියමිතයි.

ඒ අනුව එක් ගමකට පළමු අදියර යටතේ දී රුපියල් මිලියන 10ක මුදලක් වශයෙන් ගම්මාන 160 සඳහා රුපියල් මිලියන 1600ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව සඳහන්.

මෙහිදී මෙම ගම්මානවල විශේෂ ව්‍යාපෘතියක් වශයෙන් එක් ගමකින් පවුල් 20ක් තෝරාගෙන කුකුළු පාලනය සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එක් පවුලක් සඳහා ලේයර් වර්ගයට අයත් කුකුළු පැටවුන් 50ක් බැගින් ලබා දීමට නියමිත අතර ගම්මාන 160 තුළ පවුල් 3200ක් සඳහා කුකුළු පැටවුන් 160,000 ලබාදීමට නියමිත බව සඳහන්.

මෙම තරුණ ව්‍යවසායකත්ව ගම්මාන තුළ මීට අමතරව ස්වයංරැකියා වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා වන ව්‍යාපෘති රැසක් සඳහා අවශ්‍ය තාක්ෂණික හා මුල්‍ය ආධාර ලබා දෙන බව ද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර සිටියා.

Share This