දකුණු පළාතේ අ.පො.ස උ/පෙළ විභාගයෙන්  විශිෂ්ටතා දැක්වූ සිසුන්ට රුපියල් ලක්ෂය බැගින් ප්‍රදාන

දකුණු පළාතේ අ.පො.ස උ/පෙළ විභාගයෙන් විශිෂ්ටතා දැක්වූ සිසුන්ට රුපියල් ලක්ෂය බැගින් ප්‍රදාන

පසුගිය 2023 සහ 2024 වසර දෙක තුළ අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන්  ඇගයීමේ වැඩසටහනක් ජනාධිපති අරමුදල විසින් ආරම්භ කර තිබෙනවා.
දකුණු පළාතේ  අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතා දැක්වූ සිසුන් ඇගයීම  රුහුණු විශ්වවිද්‍යාලයීය රබින්ද්‍රනාත් තාගෝර් ශ්‍රවණාගාරයේ දී අද (06) පෙරවරුවේ සිදුකළේ  ඒ අනුවයි.
මෙහිදී ගාල්ල, මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවල 2023 හා 2024 වර්ෂවලට අදාළ  අ.පො.ස උසස් පෙළ විභාගයේදී, විෂයධාරා 06 ක් යටතේ ඉහළ ප්‍රතිඵල ලබාගත් සිසුන් 10 දෙනෙකු බැගින්,  සිසුන් 361 දෙනෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ දිරි දීමනාවක් පිරිනැමීම සිදු කෙෘණා.
මේ සඳහා ජනාධිපති අරමුදල වැය කර ඇති මුදල රුපියල් මිලියන 36.1ක්.
මෙම වැඩසටහන සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, මෙහි පළමු පියවර උතුරු පළාතෙන් ආරම්භ කෙරුණා.
මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේ නව රජය බලයට පැමිණීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල විධිමත් කරමින් එහි සේවා පුළුල් කිරීමටත්, විනිවිදභාවය ඇති කිරීමටත් කටයුතු කර තිබෙන බවයි.
 අතීත භාවිතයන් තුළ තිබු වැරදි, නිවැරදි කරමින් අද සැබෑ ලෙසම එහි ප්‍රතිලාභ ලැබිය යුතු පිරිස් වෙත ලබා දීමට කටයුතු කර තිබෙන බව ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නා.
මෙතෙක් කල් පැවැති ජනාධිපතිගේ අරමුදල ජනතාවගේ අරමුදල බවට පත් කිරීමට වත්මන් ආණ්ඩුවට හැකිවූ බවත් එය ජනතාවගේ හිත සුව පිණිස සේවාවන් සපයන ආයතනයක් බවට පත්කිරිමට හැකිව තිබෙන බවත්  කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මෙහිදී කියා සිටියා.
දේශපාලනඥ හෙංචයියන්ගේ ප්‍රතිකාර හා සංචාර සඳහා ජනාධිපති අරමුදල අවභාවිතා වී ඇති බවට තොරතුරු තිබෙන බවත් එය අද වන විට  ජනතා සුබසාධන ආයතනයක් බවට පරිවර්තනය කළ බවත් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළා.
Share This