
“දෙවියන් ඔබ බලාගනු ඇත.” – සමාජ මාධ්‍ය කැළඹූ අරුම පුදුම බිල්පත්
සොරකම ඇදහිය යුතු දෙයක් බවට පත් වන තරමට අපේ රටේ දී ඒ පිළිබදව කතා බහට ලක්ව තිබෙනවා.
ඒ නිසාම තමන් අසු නොවන විදියට හොරකමක් කර ගන්නට පුළුවන් තරමට සමාජය තුල බලය සහිත අයකු වීම දැන් බොහෝ දෙනකු ගේ ප්‍රාර්ථනයක් බවට තමන්ගේ ඇතුලු හදට තට්ටු කර බලන බොහෝ දෙනකුට වැටහීම අරුමයක් නොවන බව හදුනා ගන්නට තිබෙන හොදම නිදසුනක්.
අප හොරකම පිළිබදව කතා කරන හැමවිටකට ඒ හොරා අප තුල ක්‍රමයෙන් විශාල වෙමින් වැඩෙන බව බොහෝවිට විද්‍යාත්මක සාක්ෂි සහිතව ඔප්පු කරගත නොහැකි කරුණක් සේ පෙනෙන්නට පුළුවන්.
එහෙත් සමාජ විද්‍යාත්මකව දීර්ඝ අධ්‍යනයක් කළ හොත් මේ න්‍යාය තේරුම් ගැනීම අපහසු නැහැ.
මේකට ඉතා හොද නිදසුනක් අසල් වැසි ඉන්දියාවෙන් වාර්තා වුණා.
මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වී යමින්, හාස්‍යයට ලක් කෙරෙන මෙම බිල්පත් බැලූ බැල්මට තථ්‍ය ලෝකයේ නැත්නම් සැබෑ ලෝකය තුළ සිදුවිය නොහැකි දෙයක් විදියට කෙනෙකු සිතන්නට පොළඹවන සෑබෑ බිල්පත් දෙකක්.
එක් බිල්පතක දැක්වෙන තොරතුරු වල ඇති කරුණු මෙලෙස යි.
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ , ශඩෝල් දිස්ත්‍රික්කයේ පාසලක බිත්තියක තීන්ත ලීටර් 4 ක් ගෑම සදහා කම්කරුවන් 168 ක් සහ පෙදරේරුවන් 65 ක් යොදාගත් බිලක්.
මෙය සිදුවිය හැකි දෙයක් ලෙස ඇදහිය නොහැකි යයි සිතිය හැකි නමුත් අසල්වැසි ඉන්දියාවේ ඉදිකිරීම් සමාගමක් මෙම බිල්පත් නිකුත් කර ඇත්තේ රජයෙන් අදාල කොන්ත්‍රාත් ගෙවීම් ලබාගැනීම සදහායි.
මේ වෙනුවෙන් එම පාසෙල් සංවර්ධන සභාව ඉන්දියානු රුපියල් එක් ලක්ෂ හත් දහසක් ගෙවීමට අනුමත කර තිබෙනවා.
එනිසාම මෙය සමාජ අවදානයට සහ ප්‍රසිද්ධ මාධ්‍ය තුල හාස්‍යයට ලක්වන කරුණක් වුවත් ඊට වැඩි යමක් සමාජ විද්‍යාත්මකව අප තේරුම් ගත යුතු බව පෙනෙන සාධක ගණනක් මේ සිදුවිමට යටින් දැකිය හැකියි.
එකක් නම් මෙවැනි අසාමාන්‍ය ගෙවීමක් ලබාගත හැකි බවට සමාගමක් විශ්වාස කරන තැනට සමාජය පත්ව තිබීමයි.
තථ්‍ය ලෝකයේ සිදුවිය නොහැකි දෙයක් ලෙස පෙනෙන මෙම ගණන් සැබෑ ලෙසම සිදුවි තිබිම තමයි වඩාත්ම වැදගත් දෙය වන්නේ.
දෙවැන්න වංචා සහ දූෂණ පිටු දකිමින් සිනමාපට විශාල සංඛ්‍යාවක් නිර්මාණය වන සමාජයක , සිනමා වීරයින් දේවත්වයෙන් අදහන සමාජයක මේ අභව්‍ය සිදුවීම් වාර්තාවීම පිටුපස ගැඹුරු සමාජ විද්‍යාත්මක කාරණා ගණනාවක් හදුනා ගන්නට පුළුවන් වෙනවා.
ගැටලුව ඇත්තේ මේ වාර්තා හාස්‍යයෙන් නරඹා අප අමතක කරන තැනකට සමාජය නිර්වින්දනය වීමයි.
මෙහි පෙනෙන දෙවැනි බිල්පත ද ඉන්දියාවේ පාසලක ජනේල 10 ක් සහ දොරවල් 4 ක තීන්ත ආලේප කිරීම වෙනුවෙන් කම්කරුවන් 275 ක් සහ පෙදරේරුවන් 150 ක් යොදාගත් බිල්පතක්. නිපානියා ගම්මානයේ පාසලක තීන්ත ලීටර් 20 කට රුපියල් ලක්ෂ 2.3 ක් ලබා දී ඇති බව වාර්තා වුණා.
මේ වැඩ කටයුතු සිදු කළ සුදාකර් කන්ස්ට්‍රක්ෂන් සමාගම පසුගිය මැයි මස 5 වන දින ඒ වෙනුවෙන් බිල්පතක් සකස් කර ඇති අතර, එය ඊට මාසයකට පෙර – එනම් අප්‍රේල් මස 4 වන දින – නිපානියා පාසලේ විදුහල්පති විසින් අනුමත කර තිබීම වඩාත් කැපී පෙනෙන කරුණයි.
ඊටත් වඩා වැදගත් කරුණ වන්නේ ඉන්ද්‍රජාලික ලෙස, පෙර සහ පසු ඡායාරූප සමඟ නීත්‍යනුකූලව අවශ්‍ය බිල්පත් එක් ඡායාරූපයක් හෝ නොමැතිව අනුමත කරන තිබීමයි.
දිස්ත්‍රික් අධ්‍යාපන නිලධාරී ෆූල් සිං මාර්පාචි පැවසුවේ, “මෙම පාසල් දෙකේ බිල්පත් සමාජ මාධ්‍යවල වෛරල් වීමෙන් පසුව ඒවා විමර්ශනය කරමින් පවතින බවයි.
මේ සිද්ධි දෙක වුවත් ඉන්දීය සමාජය වෙලා ගනිමින් තිබෙන දුෂණ සහ වංචා රැල්ල තේරුම් ගන්න ප්‍රමාණවත්.
මේ යටින් ඇති කතාව වන්නේ සොරකම මේ වනවිට “ඇදහිය නොහැකි” තත්ත්වයකට අප පත්කර තිබෙනවා.
මේ “ඇදහිය නොහැකි” තත්ත්වය දිගින් දිගට සිදුවීම තුළ අප තුළම එය සාමාන්‍යකරණයට ලක්වීමත් , සෙරකම සහ දූෂණය යනු තවදුරටත් ඇදහිය නොහැකි තත්ත්වයක් නොව අපට ද අභ්‍යාස කළ හැකි කලාපයක් බවට පත්වීමක් බව පෙනෙන්නට තිබෙනවා.
ඒ තුළ සොරකම – දූෂණය පමණක් නොව මිනී මැරීම ,පාතාල ක්‍රියාවන් සමාජ වීරත්වයක් ආරෝපනය කර ගනිමින් ක්ෂණිකව මුදල් සහ බලය ඉපයීමේ ක්‍රියාවලියක් බවට පත්වීම සිදුවන බව තාර්කිකව සිතන්නට පුළුවන් කරුණු මේ සිදුවීම් හරහා තේරුම් ගත හැකියි.
මේ තත්ත්වය යම් නීතිමය නිදහසක් සහ සාධාරණත්වයක් සහිත බවට අප තුළ විශ්වාසයක් ඇති ඉන්දියාව තුල පවා අසන්නට ලැබීම ඇතුලෙ ලංකාව වැනි රටක පද්ධතියක් ඊට ලේසියෙන් ගොදුරුවීම ගැන පුදුම වෙන්න අවශ්‍යතාවක් නැති තරම්.
පුදුම විය යුත්තේ මේ තරම් සමාජ ශෝධනය වෙනුවෙන් පෙනී සිටින නායකයින් පිටුපස දූෂිත මැර වළල්ලක් සිටින බව ඔබ කිසියම් විටෙක දැක ගත්තොත් පමණයි.
දැනට එවැන්නක් දකින්නට හෝ අවබෝධ කර ගන්නට හැකි සමාජ නිරීක්ෂණ තත්ත්වයක් අපට තිබෙන බවක් පෙනෙන්නට නැහැ.
ඒ නිසා අප නිද්‍රාශීලීව සිටින්නේ කාලයෙන් කාලයට අප පත්කරන නායකයින් මේ සමාජය ශුද්ධ කර අපට ඉතා පවිත්‍ර ජීවිතයක් ලැබෙන තුරු බලා සිටීමට හැඩ ගැසුන තත්ත්වයකයි.
ඉන්දියාව මුහුණ දී සිටින්නේ මෙන්න මේ ඔඩු දුවමින් තිබෙන සමාජ දූෂණ ක්‍රියාවලියක නිද්‍රාගත වූ සමාජයක් අවදිකර ගැනීමේ ගැටලුවකටයි.
ජනතාවට දූෂණයට එරෙහි සිනමා නිර්මාණ සහිත ඉතා විශාල කර්මාන්තයක් නඩත්තු කරන රටේ එම දූෂණයට එරෙහි නිර්මාණකරුවන් පිටුපස දුෂිත මුදල් ගනු දෙනු පැවතීම දූෂණයේ සැබෑ ස්වරූපය තේරුම් ගන්නට ඉතා වැදගත්.
එහෙත් එවැනි ගැඹුරු කල්පනාවන්ට යොමු වන්නට සමාජ ක්‍රියාවලිය අපට ඉඩ තබන්නේ නැහැ.
අපට නිරන්තර එකක් පසුපස එකක් ලෙසින් මුහුදු රළ සේ එන සිදුවීම් පෙර සිදුවීම තේරුම් ගන්නට අවකාශ සපයන්නේ නැහැ.
සමාජ මාධ්‍ය ඇතුලෙ වයිරල් වීම හැටියට අප දකින ක්‍රියාවලිය විතැන්ව තිබෙන්නේ එතැනටයි.
සිදුවීම් “waves” හැටියට ගලාගෙන යනවිට අප නිරන්තරව ග්‍රහනය කරගන්නේ සිදුවීම් ක්‍රියාදාමයක් මිස බුද්ධිමය තක්සේරුවක් සහිතව විචාරශීලී ක්‍රියාවලියකට යන්නට අවස්ථාව සලසන සමාජ ක්‍රියාවලියක් තුළ නොවෙයි.
පොත පත පමණක් සුලබ සමාජයක සිට ඩිජිටල් සමාජයක් වෙත විතැන්වීම තුළ අප තුළ මුලින්ම අහිමිව ඇත්තේ විචාරශීලී දාර්ශනික චින්තාවලියයි.
අප ගැඹුරින් සිතිය යුත්තේ අප තුල ආශාවන් තැන්පත් කර හර පද්ධතික විචාරශීලී මනස එතැනින් ගලවා දමන ක්‍රියාවලිය පරීක්ෂාවට ලක්කරන ක්‍රමයක් පිළිබදවයි.
ඒ නිසයි අප අභව්‍ය ලෙස දකින ඇතැම් සිදුවීම් දිහා විචාරශීලී ලෙස දකින මනසක් දක්වා විද්‍යාත්මක ඇගයීමක් කළ යුතු තැනකට පත්විය යුතුව තිබෙන්නෙ.
ඔබ සමාජ මාධ්‍ය තොරතුරු රැස් කරන්නකු නම් තවදුරටත් ඒ පිළිබදව ගැඹුරින් සිතා බලන තත්ත්වයක් ඇති කරගැනීම වැදගත්.
නැතිනම් ඔබ තුළ සිටින කසළ රැස් කරන කෑදර කාක පක්ෂි මනසේ ගොදුරක් බවට දිගින් දිගටම පත්වන සමාජ සිතුවිලිවල ඔබත් ගොදුරක් වීම නම් වළක්වා ගන්න හැකියාවක් නැති වෙයි.
හුදු හාස්‍ය මුසු සමාජ සිදුවීම් ඇතුළත විනිවිධ දකින තෙවැනි ඇසක් නිර්මාණය කරගැනීම තමයි අප කළ යුත්තෙ.
සමාජ ශෝධකයින් ලෙස කලින් කලට කරළියට එළිබසින දේශපාලකයින් හෝ සමාජ ශෝධකයින් අපේ ප්‍රශ්න විසදන තෙක් බලා සිටීමෙන් අපට සිදුවන්නේ අප එහි ගොදුරක් වී විනාශයට පත්වීම පමණයි.
මේක ඉන්දියාව පමණක් මුහුණ දෙන සමාජ ගැටුලුවක් නොවෙයි.
ඇමෙරිකාව ඇතුලු යුරෝපයේ සංවර්ධිත යැයි අප පුරෝකතනය කරන සමාජ පවා මේ ඛේදවාචකයට ගොදුරු වෙමින් සිටීම තමයි හාස්‍ය ජනකම කාරණය.
ඔවුන් තමන් දියුණු යැයි සිතන මහන්තත්ත හැගීම ඔවුන්ගේම සමාජය සෝදාපාළුවට ලක් කරන දෙස බලා සිටින්නට අපට සිදුව තිබෙනවා.
එකී රටවල මහා නායකයින් ලෙස පත්කර ගන්නා කෑදර මහල්ලන්ට අවසානයේ කියන්නට සිදුව තිබෙන්නේ “දෙවියන් ඔබ බලාගනු ඇත” යන සරල වැකිය පමණයි. සමස්ත ලෝකයේ දියුනුව නමැති ප්‍රවාදය මේ වනවිට නතර වී සිටින්නේ එතැනයි.
මේ ලිපිය අවසන් කරන්නට පෙර මා නැවත එම වැකිය ඔබට සිහිපත් කරන්නට කැමතියි.
“දෙවියන් ඔබ බලාගනු ඇත.”