දේශීය ක්‍රිකට් ලොව එළිය කරන නැගී එන ක්‍රිකට් තරු

දේශීය ක්‍රිකට් ලොව එළිය කරන නැගී එන ක්‍රිකට් තරු

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අවුරුදු 23 න් පහළ නැගී එන ක්‍රීඩා සමාජ දෙදින ක්‍රිකට් තරගාවලියේ මොරටුව ක්‍රීඩා සමාජය සහ හාලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය අතර තරගය ජයපරාජයෙන් තොරව ඊයේ නිමාවුණා.

මොරටුව ක්‍රීඩාංගනයේදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ හාලාවත මේරියන්ස් ක්‍රීඩකයින් පළමු ඉනිම ආරම්භ කිරීමට මොරටුව ක්‍රීඩා සමාජය ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි මොරටු ක්‍රීඩකයින් පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 331 ක් රැස් කළා. එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඉසුල නිදුවර ශතකයක් වාර්තා කරමින් ලකුණු 106 කට දැවී ගියා.

ඊට අමතරව තවත් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක සහන් කෞෂල්‍ය ශතකය පෙනී පෙනී ලකුණු 97 කට දැවී ගියා.

පන්දු යැවීමේදී දිලන දම්සර කඩුලු 4 ක් සහ තිමිර ඉරුෂික කඩුලු 3 ක් බිඳ දැමුවා.

අනතුරුව තම පළමු ඉනිම ආරම්භ කළ හාලාවත මේරියන්ස් ක්‍රීඩකයින්ට සියලු දෙනා දැවී රැස්කරගැනීමට හැකිවුණේ ලකුණු 208 ක් පමණයි. එහිදී දර්ශක සන්දීප් ලකුණු 53 ක් සහ නායක සකුණ ලියනගේ ලකුණු 43 ක් රැස් කළා.

විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ උෂාන් සත්සර ලකුණු 45 කට කඩුලු 5 ක් බිඳ දැමූ අතර දුමිඳු සෙව්මිණ කඩුලු 3 ක් දවාගත්තා.

ලකුණු 123 ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවන ඉනිම ආරම්භ කළ මොරටුව ක්‍රීඩා සාමාජය එක් කඩුල්ලකට ලකුණු 47 ක් ලබා සිටියදී තරගයේ දෙවන දිනය අවසන්වීමත් සමග තරගය ජයපරාජයෙන් තොරව නිමාවුණා.

ඒ අනුව මෙම තරගයෙන් මොරටුව ක්‍රීඩා සාමාජයට පළමු ඉනිමේ ජයක් හිමිවුණා.

මේ අතර අවුරුදු 23 න් පහළ නැගී එන ක්‍රීඩා සමාජ දෙදින ක්‍රිකට් තරගාවලියේ ඊයේ නිමා වූ දෙවන තරගය යුනයිටඩ් සදන් ක්‍රීඩා සමාජය සහ නුගේගොඩ ක්‍රීඩා සමාජය අතර තරගය අනුරාධපුර සාලියපුර යුද හමුදා ක්‍රීඩා ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමට නුගේගොඩ ක්‍රීඩා සමාජය සමත්වුණා. ඒ අනුව පිටියට පිවිසි යුනයිටඩ් සදන් ක්‍රීඩකයින්ට, නුගේගොඩ ක්‍රීඩා සමාජයේ ප්‍රබල පන්දු යැවීමේ බලඇණිය හමුවේ පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස්කරගැනීමට හැකිවුණේ ලකුණු 54 ක් පමණයි.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දහම් නිර්මාල් කඩුලු 6 ක් බිඳ දැමුවා. ඊට අමතරව පසිඳු පැතුම් සහ අබ්දුල් ශිරාඩ් කඩුලු 2 බැගින් දවාගත්තා.

අනතුරුව නුගේගොඩ ක්‍රීඩා සමාජය තම පළමු ඉනිම ආරම්භ කළ අතර ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 231 ක් රැස් කළා. පුලිඳු පෙරේරා ලකුණු 59 ක්, අභිෂේක් ආනන්දකුමාර ලකුණු 32 ක් සහ පසිඳු පැතුම් ලකුණු 31 ක් රැස් කළා.

පන්දු යැවීමේදී සසංක නිර්මාල් සහ සිතුක ගුණවර්ධන කඩුලු 4 ක් බිඳ දැමූවා. ඊට අමතරව හිමාල් රවිහංස කඩුලු 2 ක් දවාගත්තා.

ලකුණු 177 ක් පසුපසින් හිඳිමින් තම දෙවන ඉනිම ආරම්භ කළ යුනයිටඩ් සදන් ක්‍රීඩකයින් තරගයේ අවසන් දිනය වූ දෙවන දිනය නිමා කරනවිට කඩුලු 8 කට ලකුණු 167 ක් ලබා සිටියා.
ඒ අනුව තරගය ජයපරාජයෙන් තොරව නිමා වූ අතර නුගේගොඩ ක්‍රීඩා සමාජයට පළමු ඉනිමේ ජයක් හිමිවුණා.

Share This