දේශීය ටින්මාළු කර්මාන්තය ඉහළ නැංවීමට පියවර

දේශීය ටින්මාළු කර්මාන්තය ඉහළ නැංවීමට පියවර

දේශීය ටින්මාළු කර්මාන්තය නැංවීම සඳහා විදේශයන්ගෙන් ටින්මාළු ගෙන්වීම ඊයේ(11) සිට නැවැත්වීමට කටයුතු කරන ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා වෙත උපදෙස් ලබාදී තිබෙනවා

වර්ථමානයේ ටින්මාළු කර්මාන්තය මුහුණ දී තිබෙන ගැටළු රැසක් පිළිබඳව ධීවර අමාත්‍යාංශයේදී ටින්මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ නියෝජිතයන් හා අමාත්‍ය දේවානන්ද අතර පැවති සාකච්ඡාවේදී අවධානය යොමු කර ඇති බව සඳහන් .

ඉන් ප්‍රධානතම ගැටළුව වුයේ පසුගිය මාස කිහිපය තුල ටින් මාළු ටොන් 8000ක් පමණ විදේශිය රටවලින් ගෙන්වීම හේතුකොට ගෙන දේශීය ටින්මාළු අලෙවි කර ගැනීමට දේශීය වෙළදපොලේ නොහැකි වී තිබීමයි .

විශේෂයෙන් විදේශයෙන් ගෙන්වන ලද ටින් මාළු වල මිල අඩු වී ඇති බවත් වර්ථමානයේ රජය විසින් පනවා ඇති වැට් සහ සෙස් බදු හේතුවෙන් තමන්ට ආනයනික ටින් මාළු ලබා දෙන මිළට සිය නිෂ්පාදන ලබා දීමට නොහැකි බැවින් සිය කර්මාන්තශාලා මේ වන විට වසා දැමීමට සිදු වී ඇති බවත් එම නියෝජිතයන් විසින් අමාත්‍යවරයාට පෙන්වා දී තිබෙනවා

ඊට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා ටින් මාළු ගෙන්වීම තාවකාලිකව නැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන් අතර දැනට ගෙන්වා ඇති ටින් මාළු සදහාද අමතර බද්ධක් අයකිරීමට සුදුසු පියවරයන් පිළිබදව සොයා බලා තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙසද අමාත්‍යාංශ ලේකම්තුමිය වෙත උපදෙස් ලබා දුන් බවයි පැවසෙන්නේ

ශ්‍රී ලංකාවේ මාළු මිල ඉහළ යන කාලවලදී ටින්මාළු සදහා මාළු ගෙන්වීම ලංකාවේ ටින්මාළු නිෂ්පාදකයන්ට ලබා දීමට කටයුතු කරන ලෙස අධ්‍යක්ෂක ජනරාල්වරයාට උපදෙස් දුන් අමාත්‍යවරයා ටින් මාළු නිෂ්පාදකයන්ගේ තවත් ගැටළු කිහිපයක් සදහාද විසදුම් මෙහිදී ලබා දී තිබෙනවා

Share This