‘ධර්ම චක්‍රයක්’ කියා අත් අඩංගුවට ගත් කාන්තාවකගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

‘ධර්ම චක්‍රයක්’ කියා අත් අඩංගුවට ගත් කාන්තාවකගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

2019 වසරේ ‘ධර්ම චක්‍රයක්’ සහිත ඇඳුමක් පැළඳ සිටියේ යැයි කාන්තාවක් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම තුළින් හසලක පොලීසියේ ස්ථානාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

අදාළ කාන්තාව විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව කුමුදුනී වික්‍රමසිංහ, ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් යුතුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

2019 වසරේ මැයි මස 17 වනදා හසලක පොලිස් වසම තුළදී ධර්ම චක්‍රය සහිත ඇඳුමක් ඇඳ සිටියේ යැයි කාන්තාවක් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට පොලීසිය විසින් කටයුතු කර තිබුණා.

පසුව එම සිද්ධියට අදාළව තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට සඳහන් කරමින් අදාළ කන්තාව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට කටයුතු කළා.

ඒ අනුව අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකළ හසලක පොලිසියේ එවකට ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන නිශාන්ත යන අය විසින් සිය පෞද්ගලික මුදල්වලින් රුපියල් 30,000ක මුදලක් පෙත්සම්කාරියට ගෙවිය යුතු බවට විනිසුරු මඩුල්ල නියෝග කළා.

එම වන්දි මුදල ගෙවීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ අරමුදල් හෝ පොලිස් සාමුහික අරමුදලේ මුදල් භාවිත නොකළ බවට පොලිස්පතිවරයා විසින් අධිකරණයට සහතිකයක් ලබාදිය යුතු බවටත් එම නියෝගයේ සඳහන්.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතේ 3 (1) වගන්තිය යටතේ අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමේදී අනුගමනය කළ යුතු පැහැදිලි කිරීම් දැක්වෙන චක්‍රලේඛයක් නීතිපතිවරයාගේ අනුමැතියට යටත්ව සියලු පොලිස් ස්ථාන වෙත නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, සිය සේවාදායිකාව ධර්ම චක්‍රයක් සහිත ඇඳුමක් පැළඳ සිටි බවට පොලිසිය විසින් අත්අඩංගුවට ගත්ත ද පසුව එය නැවක සුක්කානමක් බවට කරුණු අනාවරණවූ බවයි.

Share This