
ධීවර යාත්‍රා අනතුරු වලින් පසු ධීවර ඇමතිගෙන් විශේෂ කමිටුවක් (VIDEO)
අද (ජූනි 28) උදෑසන මුහුදේ දී සිදුවූ ධීවර යාත්‍රා අනතුරු සම්බන්ධයෙන් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා මෙවැනි අනතුරු ඉදිරියේදී වළක්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත් කර තිබෙනවා.
දෙවුන්දර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය MTR 263 දිනේෂ් 4 බහුදින යාත්‍රාව වාණිජ නෞකාවක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් යාත්‍රාව තුළ සිරවී සිටි ධීවරයෙකු මේ වන විට සාර්ථකව මුදාගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ කඩිනම් ක්‍රියාමාර්ග හේතුවෙන් දිවි බේරාගත් ඔහු, නාවික හමුදා යාත්‍රාවක් මගින් ගොඩබිම වෙත රැගෙන ඒමෙන් පසු රෝහල් ගත කර ප්‍රතිකාර ලබාදෙමින් සිටීනවා.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය නිවේදනය කළේ ඔහුගේ තත්ත්වය යහපත් බවයි.
අනතුරට පත් යාත්‍රාවේ සිටි අනෙක් සිව්දෙනා සොයා ශ්‍රී ලංකා නාවික හමුදාව අද උදෑසන 7:30 සිට සෝදිසි මෙහෙයුම් සහ කිමිදුම් කටයුතු අඛණ්ඩව සිදු කළා.
මෙම බිහිසුණු සිදුවීම ගොඩබිම සිට සැතපුම් 20ක් පමණ ඈත වෙළෙඳ නෞකා ගමන් මාර්ගයක සිදුවී තිබුණා.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය මෙම දරුණු සිදුවීම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන අතර, අතුරුදහන් වූ ධීවරයින් සොයා ගැනීම සහ ඔවුන්ගේ පවුල්වලට අවශ්‍ය සහන සැලසීම සඳහා සියලු පියවර ගනිමින් සිටීන බව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවා.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යවරයා කමිටුවක් පත් කර ඇත්තේ, අවශ්‍ය නිර්දේශ සකස් කර ඉදිරියේදී මෙවැනි කටයුතු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටයි.