නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා දායකවීම සංඝයා වහන්සේලාගේ ජාතික වගකීමක් බව අගමැතිනිය පවසද්දී – කැපවීම මහා සංඝයා වහන්සේ…අගයයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා දායකවීම සංඝයා වහන්සේලාගේ ජාතික වගකීමක් බව අගමැතිනිය පවසද්දී – කැපවීම මහා සංඝයා වහන්සේ…අගයයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හුදෙක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පමණක් සිදුවන වෙනස්කමක් නොව, එමඟින් සමස්ත රටේම සාධනීය වෙනසක් ඇතිකළ හැකි බැවින් ඒ සඳහා දායක වීම සංඝයා වහන්සේලාගේ ජාතික වගකීමක් වන බව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නා හිමිවරුන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය වෙත පවසා තිබෙනවා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අමරපුර හා රාමඤ්ඤ මහා නිකායික නා හිමිවරුන් දැනුම්වත් කිරීමේ විශේෂ සාකච්ඡාව පැවැත් වුණේ අග්‍රාමාත්‍යවරියගේ සහභාගිත්වයෙන් ඊයේ(04) ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා සංඝ මූලස්ථානයේ දීයි.

මෙහි දී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ජාතික වැදගත්කම, විෂය සැලැස්ම, ඇගයීම්කරණය සිදුවන ආකාරය සහ ප්‍රතිසංස්කරණයන්හි අභිමතාර්ථ පිළිබඳව පුළුල් විග්‍රහයක් අග්‍රාමාත්‍යවරිය සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා විසින් නා හිමිවරුන් වෙත ඉදිරිපත් කළා.

එහිදී උන්වහන්සේලා විසින් මතු කළ ප්‍රශ්නවලට, උන්වහන්සේලා සමඟ සාකච්ඡා කරමින්ම එම ගැටලු පැහැදිලි කර දෙනු ලැබුවා.

නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ දී අධ්‍යාපන අමාත්‍යංශය, ජාතික අධ්‍යාපන ආයතනය , ජාතික අධ්‍යාපන කොමිසම, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව යන ආයතන වෙත පවතින සුවිශේෂී වගකීම් සහ එම ආයතන අතර පැවතිය යුතු මනා සහ සම්බන්ධතාවය පිළිබඳව ද මෙහිදී විශේෂයෙන් සාකච්ඡාවට ලක් වී තිබෙනවා.

අග්‍රාමාත්‍යවරියගේ මාධ්‍ය ඒකකය පවසන්නෙ මහා නිකායික හිමිවරුන් මෙහි දී පිරිවෙන් අධ්‍යාපනය, දහම්පාසල් අධ්‍යාපනය සහ පෙරපාසල් අධ්‍යාපන ක්‍රමයේ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව කරුණු පෙන්වා දුන් අතර, යෝජිත ප්‍රතිසංස්කරණ ඔස්සේ පාසල් තුළ දෙවන බස ඉගැන්වීම සඳහා වැඩි ඉඩක් ලබාදීමේ වැදගත්කම අවධාරණය කළ බවයි.

එමෙන්ම අමාත්‍යංශයක් භාර අමාත්‍යවරයකු ලෙස සහ අමාත්‍යංශ ලේකම්වරයකු ලෙස මෙම ප්‍රතිසංස්කරණ පිළිබඳව පුළුල් අවබෝධයක් ඇතිව අග්‍රාමාත්‍යවරිය සහ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව මහතා සිදුකරන මෙම පැහැදිලි කිරීම් සහ කැපකිරීම් ඇගයිය යුතු බව පවසමින් මහා නිකායික ස්වාමීන්වහන්සේලා සිය ආශිර්වාද එක්කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සදහන් කළා.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය නියෝජනය කරමින් මහා විහාර වංශික අමරපුර මහා නිකායේ මහෝපාධ්‍යාය සාහිත්‍යසූරී ගන්තුනේ අස්සජි මහ නා හිමියන්, අමරපුර ධර්මරක්ෂිත පාර්ශ්වයේ මහා නායක අග්ග මහා පණ්ඩිත ත්‍රිකුණාමලයේ ආනන්ද මහ නා හිමියන්, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝනායක අග්‍ර මහා පණ්ඩිත මහචාර්ය අත්තන්ගනේ රතනපාල නා හිමියන්, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරි දර්ශනපති බලපිටියේ සිරිසීවලි නාහිමියන්, රාමඤ්ඤ මහා නිකායේ අනු නායක වලේබොඩ ගුණසිරි නා හිමියන්, රාමඤ්ඤ මහා නිකායේ අනුනායක විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ දීවෙල මහින්ද නා හිමියන්, රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරි ශාස්ත්‍රපති අත්තන්ගනේ සාසනරතන නාහිමියන් ඇතුළු මහා නායක හිමිවරුන් ඇතුළු දෙනිකායේ මහා නායක ස්වාමීන්වහන්සේලා සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න, අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යාපන සේවා අතිරේක ලේකම් කමල් ආරියසේන යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.

 

 

Share This