
නාඋයන ආරණ්‍ය සේනාසනයේ අනතුරින් තවත් හිමි නමක් අපවත් වේ
කුරුණෑගල පන්සියගම නාඋයන ආරණ්‍ය සේනාසනයේ කේබල් ඩක්කුවක් කඩාවැටීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගතව සිටි තවත් ස්වාමීන් වහන්සේ නමක් අද අලුයම අපවත්වී තිබෙනවා.
දැඩිසත්කර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පන්නිපිටියේ ඉන්දෝභාස ස්වාමීන්වහන්සේ එලෙස අපවත්ව ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
ඒ අනුව අනතුරින් අපවත් වූ මුලු භික්ෂූන්වහන්සේ සංඛ්‍යාව 08ක්.
කුරුණෑගල මැල්සිරිපුර ප්‍රදේශයේ සිට කිලෝමීටර් 13ක් පමණ දුරින් පන්සියගම පොලිස් වසමේ පිහිටි නා උයන ආරණ්‍ය සේනාසනය හමු වනවා.
නාඋයන ආරණ්‍ය සේනාසනයේ අඩි 750ක පමණ කඳු මුදුනේ පිහිටි භාවනා කුටි වෙත වැඩම කිරීමට ගිය ස්වාමීන් වහන්සේ 13 නමක් කේබල් ඩක්කුවක් කඩාවැටීමෙන් අවාසනාවන්ත ලෙස අනතුරට පත්වුණේ පසුගිය 25 වැනිදායි.
අනතුරට පත් ස්වාමීන් වහන්සේ 13 නම අතරින් ස්වාමීන්වහන්සේ 7 නමක් එදින අපවත් වුණා.
මෙම අනතුරින් අපවත් වූ ඉන්දීය ජාතික පූජ්‍ය ධම්මගවේසී ස්වාමීන්වහන්සේගේ දේහය ඉන්දියාවට රැගෙන ගිය අතර අපවත් වූ රුමේනියානු ජාතික පූජ්‍ය ධම්මරන්සි ස්වාමීන්වන්සේගේ දේහය පිළිබඳ අදාහන පූජෝත්සවයද මෙරට දී සිදුකිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
අප වාර්තාකරු සඳහන් කළේ කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබු අනෙක් ස්වාමීන්වහන්සේ ද කොළඹ පුද්ගලික රෝහලක් වෙත රැගෙන ඒමට කටයුතු කර ඇති බවයි.
