නිදහස් වෙළඳ ගිවිසුම් ගැන යළිත් කතාබහක්
වසර 10ක් පුරා සාකච්ඡාවට ලක්වන පවතින චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම(Free Trade Agreement (FTA) පිළිබඳව යලිත් කතාබහට ලක්ව තිබෙන අතර ඒ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය සිය අවදානය යොමු කර තිබෙනවා.
2022 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා විදේශ ඇමැති අලි සබ්රි සහ චීන විදේශ කටයුතු ඇමැති වැන්ග් යී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබුණා.
කොළඹ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන ලද්දේ, දෙරට අතර වෙළඳාම පිළිබඳ විශ්වාසය ඉහළ නැංවීම සඳහා චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම ඉක්මනින් අවසන් කිරීමට උත්සාහ කිරීමේ පියවරක් ලෙස ඇමතිවරුන් දෙදෙනා අතර මෙම සාකච්ඡාව පැවැත්වූ බවයි.
සාකච්ඡා වසර 10ක පමණ කාලයක් ආපස්සට ගමන් කළද, චීනය මෙම නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳව උනන්දුව පලකරන ලද්දේ 2015 වසරේ සිට
වන අතර ඒ වන විට චීනය කොළඹ වරාය නගර(Port City) ව්‍යාපෘතිය වෙනුවෙන් කටයුතු ආරම්භ කර තිබුණා.
එක් තීරයක්-එක් මාවතක් වැඩසටහන පදනම් කරගනිමින් දකුණු ආසියානු කලාපයේ සැලසුම් කර ඇති වැදගත්ම ව්‍යාපෘතියක් ලෙස කොළඹ වරාය නගරය සැලකෙන අතර ආසියා-පැසිෆික් කලාපයේ වෙළඳ කටයුතු ව්‍යාප්ත කිරීමට කොළඹ වරාය නගරයේ සිට හැකියාව උදා වනවා.
මේ අතර චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම හරහා චීනයෙන් මෙරටට අපනයනය කෙරෙන භාණ්ඩ සියයට 90ක්ම වෙනුවෙන් පුර්ණ තීරුබදු සහනයක් චීනය අපේක්ෂා කරන බවට ආර්ථික විශ්ලේෂකයන් සඳහන් කරනවා. එහෙත් ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ චීන නිෂ්පාදනවලින් අඩකට පමණක් තීරුබදු රහිතව මෙරටට ආනයනය කෙරෙන පදනමින් වෙළඳ ගිවිසුම ආරම්භ කිරීමටයි.
කුඩා හා අඩු සංවර්ධිත ආර්ථිකයක දෘෂ්ටි කෝණයෙන් ශ්‍රී ලංකාවේ එම ඉල්ලීම අසාධාරණ යැයි පැවැසිය නොහැක. ශ්‍රී ලංකාවට මේ වන විට තවදුරටත් සිය විදේශ ණය ආපසු ගෙවාගැනීම අපහසුව ඇති අතර, ඊට සමගාමිව අවම තරමින් රටට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රමාණය හෝ ආනයනය කරගැනීමට නොහැකි තත්වයකට පත්ව තිබෙනවා.
අනෙක් අතට සිය විදේශ ණය ආපසු ගෙවීමට නොහැකි බැවින් ශ්‍රී ලංකාවට තවදුරටත් විදේශීය රාජ්‍යයන්ගෙන් හෝ බහු පාර්ශ්වික අන්තර්ජාතික ආයතන වලින් ණය හෝ ආධාර ලබාගත නොහැකි වී ඇති අතර අනිවාර්යයයෙන්ම ශ්‍රී ලංකාව විසින් සිය විදේශ ණය, ප්‍රතිව්‍යුහගතකරණය කරවාගත යුතුව තිබෙනවා.
ශ්‍රී ලංකාවට අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ සහාය තීරණාත්මක වී ඇත්තේ එබැවිනුයි.
මූල්‍ය අරමුදල යනු, මෙවන් අර්බුදවලට මුහුණදුන් රටවල්වලට සහාය ලබාදෙමින්, ඒවායේ ණය ගටලු වලට දිගුකාලින සහන සලසන ආයතනයකි. මුල්‍ය අරමුදල විසින් මෙවැනි අර්බුදකාරී ආර්ථිකයන්ට, එම අර්බුදවලින් ගොඩ ඒම වෙනුවෙන් උපදේශයනයන් මෙන්ම ආර්ථික සහායන්ද ලබාදෙනු ලබනවා.එම ක්‍රමවේදයට අනුව දැන් මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට උපදේශනයන් ලබාදීම ආරම්භ කර ඇති අතර එම උපදේශනයන්ට අනුව ශ්‍රී ලංකාව විසින් කඩිනමින්, පළමු සහ වැදගත් පියවරක් ලෙස සිය ද්විපාර්ශ්වික ණයහිමියන්ගේ ණයවලින් කොටසක් ප්‍රතිව්‍යුහගතකරණය කරවාගත යුතුයි.
වෙනත් ආකාරයකින් කිවහොත් ණයහිමියන් මෙරටට ලබාදී ඇති ණය ආපසු ගෙවීම වෙනුවෙන්, එම ණයවලින් කොටසක් කපාහැරීමට සහ ණය ආපසු ගෙවීමේ කාලසීමාව දීර්ඝ කරදීමට කැමැත්ත පලකළ යුතු වනවා.
එහිදී වඩාත්ම වැදගත් සාධකයක් බවට පත්ව ඇත්තේ චීනයයි. මීට මාස දෙකකට පමණ පෙර මුදල් අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව එක්ව ශ්‍රී ලංකාවේ ණයහිමියන් වෙත ලබාදුන් අවසන් ණය වාර්තාවට අනුව ශ්‍රී ලංකාව විසින් චීනයෙන් ලබාගෙන ඇති ණය ප්‍රමාණය මෙරට සමස්ත ණය ප්‍රමාණයෙන් සියයට 15 ඉක්මවනු ලබනවා. ශ්‍රී ලංකාව විසින් මුල්‍ය අරමුදලේ උපදෙස්වලට අනුව මේ මොහොතේ ප්‍රතිව්‍යුහගතකරණය කරවාගත යුතු ද්විපාර්ශ්වික ණය ප්‍රමාණය වන එක්සත් ජනපද ඩොලර් බිලියන 14ක ප්‍රමාණයෙන් සියයට 52කට වඩා වැඩි ප්‍රමාණයක් චීනයට අයත් වනවා.
අනෙක් ණය සියයට 48ක ප්‍රමාණය හිමි ඉන්දියාව,ජපානය සහ පැරිස් සමාජයට අයත් රටවල් දැනටමත් මුල්‍ය අරමුදලේ නිර්දේශයන්ට අනුකුලතාව දක්වමින් සිය ණය ප්‍රතිව්‍යුගතකරණය කරදීමට කැමැත්ත පළකර තිබෙනවා.
මෙවැනි තත්වයක් තුළයි චීන නිදහස් වෙළඳ ගිවිසුම යළිත් සාකච්ඡාවට ලක්ව ඇත්තේ.
පවතින ණය අර්බුදය විසඳා ගැනීම සඳහා මාර්ගයක් තනාගත් විගසම ශ්‍රී ලංකාවට නැවත වරක් අවශ්‍ය වන්නේ, රටට අවශ්‍ය සෑම භාණ්ඩයක්ම ආනයනය කරනු ලබන ආර්ථික උපායමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම නොවන බව ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසයි.
ඒ වෙනුවට රටට අත්‍යවශ්‍ය විදේශ විනිමය ඉතිරිකර ගැනීම වෙනුවෙන් ආහාර ඇතුළුව නිෂ්පාදන ආර්ථිකය ගොඩනැංවීම ශ්‍රී ලංකාව විසින් නුදුරු අනාගතයේදී ජාතික ප්‍රතිපත්තියක් ලෙස ගෙන සංවර්ධනය කළ යුතු උපාය මාර්ගයයි.
මෙරට ජනතාවට අවශ්‍ය වී ඇටයේ සිට කොස්ස, ඉදල දක්වාවූ මෙරට නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ වෙනුවෙන් සම්පුර්ණ පහසු දොරක් විවෘත කරදීමකි.
එමනිසා ශ්‍රී ලංකාව විසින් මේ මොහොතේ බැලිය යුත්තේ මේ සියලුම අවදානම් සිතෙහි තබාගෙනය.