
නීතිපති පත් කිරීම ගැන වූ නීතිඥ සංගමයේ ලිපියට ජනපති ලේකම්ගෙන් පිළිතුරු
හිටපු නීතිපති ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතා විශ්‍රාම ගැනීමෙන් පසුව නව නීතිපතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කරන ලද ලිපියට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පිළිතුරු ලිපියක් මඟින් ප්‍රතිචාර දක්වා තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සහිතව නීතිපතිවරයා පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ. ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව බලය පවතින බවත්, ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්ව නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා මෙම තනතුර සඳහා පත්කිරීමට ව්‍යවස්ථාපිත අවශ්‍යතාවක් නොමැති බවත් එම ලිපිය මඟින් ජනාධිපති ලේකම්වරයා අවධාරණය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
එමෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වෙත නීතිපති ධුරය ලබාදීමේ ක්‍රමයක් ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ අනුගමනය කර නොමැති අතර ජනාධිපති නීතිඥ සරත් එන්. සිල්වා මහතා සහ ජනාධිපති නීතිඥ මොහාන් පීරිස් මහතා වැනි පසුගිය කාලය තුළ නීතිපති ධුරය සඳහා සිදුකර ඇති පත්වීම් නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් පරිබාහිරව සිදුකර ඇති බවද එම ලිපියේ සඳහන්.
එමෙන්ම 2016 වසරේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නීතිපති ධුරය සඳහා කිහිපදෙනෙකුගේ නම් නිර්දේශ කළ බවත්, එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා නීතිපතිවරයා ලෙස පත්කිරීම අනුමත කිරීම ද උදාහරණයක් ලෙස මෙහිදී ජනාධිපති ලේකම්වරයා පෙන්වා දී තිබෙනවා.
ජනාධිපතිවරයාගේ සහ අමාත්‍ය මණ්ඩලයේ විශ්වාසය තහවුරු කර ගැනීමට හැකි සියලු සුදුසුකම්ලාභීන් පිළිබඳ පුළුල් ලෙස සලකා බැලීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කර ඇති ජනාධිපති ලේකම්වරයා නීතිපති ධුරය සඳහා වෙනත් සුදුසුකම්ලාභීන් සිටියදී එක් පුද්ගලයෙකු වෙනුවෙන් පමණක් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පෙනී නොසිටිය යුතු බව ද මෙම ලිපිය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.
හිටපු නීතිපති සංජේ රාජරත්නම් මහතා විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වූ නීතිපති ධුරය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා පත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය මීට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබූ අතර එම ක්‍රියාවලිය මඟින් ජ්‍යෙෂ්ඨත්වයට ගරු කරමින් නීතිපති ධුරයේ අඛණ්ඩතාව සහ ස්ථාවරත්වය සහතික කෙරෙන බවත්, එය නීතිපති දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත ධුරාවලියට අනුකූල වන බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් අවධාරණය කර තිබුණා.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් චතුර ඒ. ගල්හේන මහතාගේ අත්සනින් යොමු කර ඇති මෙම ලිපිය මඟින් නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සහ යුක්තියේ සාධාරණත්වය සහතික කිරීම සඳහා නීතිපතිවරයා සතු තීරණාත්මක කාර්යභාරය අවධාරණය කර ඇති අතර, ඔවුන්ගේ මෙම ඉල්ලීම සාධනීය අයුරින් සලකා බලන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබූ බව සඳහන්.