නීති විරෝධී ලෙස එකලස් කළ වාහනයක් මන්ත්‍රී පුතාට වික්ක රෝහිතගේ දුව පොලීසිය හොයයි (VIDEO)

නීති විරෝධී ලෙස එකලස් කළ වාහනයක් මන්ත්‍රී පුතාට වික්ක රෝහිතගේ දුව පොලීසිය හොයයි (VIDEO)

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කළ සුපිරි ජීප් රථයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා අද මතුගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

වළාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය අදාළ සැකකරු මතුගම නගරයේදී අත්අඩංගුවට ගත් අතර අදාළ රථය ඔහුට අලෙවි කළ බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණියද සොයා පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.

නීති විරෝධී ලෙස කොටස් එකළස් කළ සුපිරි ජීප් රථයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් විතාන මහතාගේ පුත්‍රයා ඊයේ වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී උණුසුම් තත්ත්වයක් ද හට ගැනුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මතුගම නෑබඩ ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ කොටස් එකලස් කර සැකසූ එම රථය කූඨ ලේඛන භාවිත කරමින් ලියාපදිංචි කර ඇති බවයි.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු අද මතුගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වළාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සඳහන් කළා.

මේ අතර ඔහු අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව ලේඛන කිහිපයක් ඉදිරිපත් කරමින් පවසා තිබුණේ තමන් අදාළ වාහනය මිලදී ගත්තේ හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණියගෙන් බවයි.

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය ද සොයා එම ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් ඇය පදිංචි බව කියන කළුතර ප්‍රදේශයේ නිවසක් වෙත ඊයේ ගියා.

කෙසේ වෙතත් ඇය එම නිවසේ නොසිටි ඇති අතර සැකකරු භාවිත කළ එකී සුපිරි ජීප් රථය මීට පෙර රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය භාවිත කර ඇති බවට තොරතුරු ඇති බවත් පොලිසිය පැවසුවා.

Share This