පරිපූරක වෛද්‍ය “ස්ට්‍රයික් එක” 5න් 4ක් ඉවරයි

පරිපූරක වෛද්‍ය “ස්ට්‍රයික් එක” 5න් 4ක් ඉවරයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් විසින් ආරම්භ කර තිබූ වැඩවර්ජනය අද උදෑසන 8.00ට අවසන්වුණා.

වර්ජනය අවසන් කරන දිනය පිළිබඳ තීරණයක් නොමැතිව මේ සදහා එක්වූ සංගම් 05න් සංගම් 04ක් වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කර ඇතිබව වාර්තා වෙනවා.

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පැවසුවේ මෙම වර්ජනයෙන් රෝගීන්ට වන අපහසුතාව සැලකිල්ලට ගනිමින් වැඩවර්ජනය අවසන් කිරීමට තීරණය කළ බවයි.

එහෙත් වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින් තවදුරටත් වර්ජනයේ නිරත වන බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

සම සෞඛ්‍ය ගැටලුව, උසස්වීම් ප්‍රමාදය, වැටුප් විෂමතා ඇතුළු කරුණු 5ක් මුල්කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පෙරේදා (05) උදෑසන 8 සිට එක්දින වැඩ වර්ජනයක් දියත් කර තිබුණි.

පරිපූරක වෛද්‍ය සේවාවේ උසස්වීම් සම්බන්ධයෙන් පොරොන්දු වූ විසඳුම් මේ වනතෙක් ලබාදීමට පියවර ගෙන නොමැති බවත් ගැටලුව විසඳා ගැනීම සඳහා සාකච්ඡාවක් ලබානොදීම මේ තත්වය උග්‍රවීමට තවත් හේතුවී තිබුණා.

මේ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්වු බව රට වටින්ම වාර්තාවුණා.

එවන් පසුබිමක වුවත් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට වර්ජකයින් තීරණය කළේ අදාළ ගැටලු විසඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා මැදිහත් නොවන බව පවසමිනි.

කෙසේවෙතත් සංගම් 5න් සංගම් 4ක් වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය සනාථ කරනවා.

 

 

 

Share This