ප්‍රසන්න රණවීර ඇතුළු සැකකරුවන් ලබන 18 තෙක් රක්ෂිත බාරයට

ප්‍රසන්න රණවීර ඇතුළු සැකකරුවන් ලබන 18 තෙක් රක්ෂිත බාරයට

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කොට විකිණීම සම්බන්ධව චෝදනා ලැබ සිටින එහි ඉතිරි සැකකරුවන් වන හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර, සරත් එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් සහ අජිත් මිල්රෝයි යන සැකකරුවන්ට එරෙහි නඩුව අද (04) යලි විභාගයට ගැනුණා.

ඒ SKYPE තාක්ෂණය ඔස්සේ මහර මහේස්ත්‍රාත් අධිකරණයේදී මහේස්ත්‍රාත් කාංචනා N .සිල්වා මහත්මිය ඉදිරියේදී යි .

මෙහි සෙසු සැකකරුවන් වූ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා , ජයන්ත කබ්රාල් සහ නවීන් වීරකෝන් යන අය පසුගිය දා ගම්පහ මහාධිකරණය මගින් ඇප පිට නිදහස් කිරීමට නියෝග කළා.

එමෙන්ම ප්‍රසන්න රණවීර මහතා ඇතුළු අනෙක් සැකකරුවන් වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥයන් ඇප ඉල්ලා සිටියත් එය ගම්පහ මහාධිකරණය හරහා ලබාගත යුතු බව මීට පෙර මහේස්ත්‍රාත්වරිය නියෝග කොට තිබෙන පසුබිමකයි අද මහර මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම නඩුව විභාගයට ගැනුණේ.

මෙහිදී සියලු පාර්ශවයන් ඉදිරිපත් කළ කරුණු විමසා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය නඩුව මේ මස 18 දින දක්වා කල් තැබුවා.

ඒ අනුව මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ විත්තිකරුවන් එදින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.
.

Share This