පාතාලයින් අත්අඩංගුවට ගැනීම ගැන සමාජ මාධ්‍ය‍යෙන් ව්‍යාජ තොරතුරු පතුරුවන අයට නිවේදනයක්

පාතාලයින් අත්අඩංගුවට ගැනීම ගැන සමාජ මාධ්‍ය‍යෙන් ව්‍යාජ තොරතුරු පතුරුවන අයට නිවේදනයක්

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ යැයි හැගෙන ලෙස ව්‍යාජව සකස් කරන ලද ඡායාරූප හා ව්‍යාජ ප්‍රවෘත්තීන් සම්බන්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ විදේශගතව සිටිමින් ශ‍්‍රී ලංකාව තුළ විවිධ සංවිධානාත්මක අපරාධ මෙහෙයවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ නම් පුද්ගලයා ඇතුලූ පිරිස පසුගිය දා ඉන්දුනීසියාවේදී ශ‍්‍රී ලංකා පොලීසියේ සහ ඉන්දුනීසියානු පොලීසියේ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් අත්අඩංගුවට ගත් බවයි.

එකී අත්අඩංගුවට පත්වූ පිරිස ඊයේ (30) පස්වරුවේදී ශ‍්‍රී ලංකාවට රැගෙන එන අවස්ථාවට ඉන්දුනීසියානු පොලීසියේ නිළධාරීන් කිහිප දෙනෙකු ද සහභාගී වූ බව එහි දැක් වෙනවා.

මෙම මෙහෙයුමට සමබන්ධ වූ ඉන්දුනීසියානු පොලිස් නිළධාරීන්ට ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් ස්තූතිය ඵල කිරීම සදහා කෙටි උත්සවයක් කටුනායක බණ්ඩාරණායක ගුවන්තොටුපල පරිශ‍්‍රයේදී පැවැත්වූ අතර එම අවස්ථාවට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාත්, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාත් සහභාගී වූ බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ නිවේදනයේ සදහන්.

එහි දැක්වෙන්නේ මෙම මෙහෙයුමට සම්බන්ධ වූ ශ‍්‍රී ලංකා පොලීසියේ නිළධාරීන්ට හා ඉන්දුනීසියානු පොලීසියේ නිළධාරීන්ට සමරු ඵලක හා ත්‍යාග ප්‍රධානය කිරීම අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු නමුත් මෙම සිදු වීම සම්බන්ධයෙන් ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද ඡායාරූප මෙන්ම ප්‍රවෘත්තීන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වනු නිරීක්ෂණය වූ බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ නිවේදනය කරනවා.

එහි දැක්වෙන්නේ ඒ අනුව විශේෂයෙන්ම අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ යැයි හැගෙන ලෙස ව්‍යාජ ලෙස සකස් කරන ලද ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතින බවයි.

එම ව්‍යාජ ඡායාරූප හා ව්‍යාජ ප්‍රවෘත්තීන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර සිටින අතර එකී ව්‍යාජ ඡායාරූප සකස් කොට පළ කරන පුද්ගලයන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව ද මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා.

විශේෂයෙන්ම සංවිධානාත්මක අපරාදකරුවන් හා මත්ද්‍රව්‍ය මර්ධනය කිරීම සදහා විශේෂ මෙහෙයුම් වන විට ක‍්‍රියාත්මක වන අතර සත්‍යවූූත් නිවැරදි වූත් තොරතුරු පමණක් සමාජ මාධ්‍ය හා අනෙකුත් මාධ්‍ය තුළ ප‍්‍රචාරණය කරන මෙන් සියලූම මාධ්‍ය ආයතනවලින් මෙන්ම සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

Share This