පාතාලය යලි නිහැඩියාව බිදියි

පාතාලය යලි නිහැඩියාව බිදියි

 

නිහැඩියාවකින් පසුව යලි පාතාලය ක්‍රියාත්මක වීමක්ද අද වාර්තා වුණා.

ඒ කොහුවල, කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට අද අලුයම යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීමත් සමගයි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මිලිමීටර් 09 වර්ගයේ ගිනි අවියක් භාවිත කර අදාළ වෙඩි තැබීම සිදුකර තිබූ අතර එය සංවිධානත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ මෙහෙයවීම මත සිදුව ඇති බව සඳහන්.

විමර්ශනවලදී හෙළිවුණේ ඒ සඳහා මිලිමීටර් 09 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවයි .

වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානි සිදුව නොතිබුණත් නිවසෙහි ගේට්ටුවට හානි සිදුව තිබුණා.

අදාළ වෙඩික්කරුවන් නිවස දෙසට වෙඩි ප්‍රහාර 06ක් එල්ල කර ඇති බවයි විමර්ශනවලදී හෙලිව ඇත්තේ.

අදාළ නිවස නිමි ඇඳුම් සහ පරිගණක උපාංග අලෙවි කරන වෙළෙඳසැලක් පවත්වාගෙන යන පුද්ගලයෙකුට අයත් එකක් වන අතර, එහි පදිංචි එක් සහෝදරයෙකු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති බව සඳහන්.

ඔහු මේ වන විට නිවසින් බැහැරව ගොස් සැඟව සිටින බවට තොරතුරු වාර්තා වන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ද ඔහු සොයා විමර්ශන සිදුකරමින් පැවතියා.

ඒ මෙරට ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයින්ට විදෙස් ගමන් බලපත්‍ර ව්‍යාජ අයුරින් සකස් කිරීමේ චෝදනා මතයි.

කෙසේ වෙතත් ඔහු මේ වන විට ඩුබායි රාජ්‍යයට පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

තොරතුරු ලැබී ඇත්තේ ආගමන විගමන දෙපාර්ත්ම්න්තුවේ සේවය කරමින් කංජිපානි ඉම්රාන්, කෙහෙල්බද්දර පද්මෙ, යකා සමන්ත ඇතුළු පිරිසකට ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සාදා ගැනීම සඳහා මොහු සහය වී ඇති බවටයි.

ඔහු පාතාල කල්ලි සාමාජිකයින්ට විදේශ ගමන් බලපත්‍ර සකස් කිරීමට සහය වීම හේතුවෙන් ප්‍රතිවාදී පාතාල කල්ලියක මෙහෙය වීම මත මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවට පොලිසියට සැක මතුව තිබෙනවා.

තවද ව්‍යාපාර කටයුතු හේතුවෙන් යම් පාර්ශ්වයක් සමඟ ඇති වූ මුදල් ආරවුලක් මත වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවට වාර්තා වන අතර සියලු සිදුවීම් ඔස්සේ විමර්ශන සිදුකරන බවයි කොහුවල පොලිසිය සඳහන් කළේ.

 

 

Share This