
පාතාල අපරාධ කල්ලි සමග සබඳතා පැවැත් වූ පොලිස් නිලධාරීන් කළබල වෙලා (VIDEO)
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්වූ කෙහෙල්බද්දර පද්මේ සහ ඔහුත් සමඟ අත්අඩංගුවට පත්වූ සෙසු අපරාධ කල්ලි සාමාජිකයන් සමඟ සබඳතා පැවැත්වූ පොලිසියේ පිරිසක් ගැන ද තොරතුරු හෙළිවෙමින් පවතින බව තොරතුරු වාර්තා වනවා.
එම සබඳතා මත තමන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල ඇතුළු කණ්ඩායමක් ඉන්දුනීසියාවට පැමිණෙන බව කල්තියා දැනුවත්ව සිටි බව ප්‍රශ්න කිරීම් හමුවේ කෙහෙල්බද්දර පද්මේ පවසා ඇති බවයි වාර්තා වන්නේ.
ඔවුන් පිළිබඳ ලැබුණු තොරතුරක් මත ඉන්දුනීසියාවට ගොස් මේ පිරිස අත්අඩංගුවට ගැනීමට සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ සහකාර පොලිස් අධිකාරී මහින්ද ජයසුන්දර යන මහත්වරුන් ආවේක්ෂණ කටයුතුවල නිරත වුණා.
මේ වනවිට අදාළ සැකකරුවන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ සඟවා තබා ඇති ගිනිඅවි, මහා පරිමාණ මත්කුඩු ජාවාරම් සහ තවත් අපරාධ රැසක තොරතුරු හෙළිවෙමින් පවතිනවා.
ඊට අමතරව අදාළ සැකකරුවන් මෙරට සබඳතා පැවැත්වූ පුද්ගලයන් පිළිබඳව තොරතුරු රැසක් හෙළිව ඇති බවයි පැවසෙන්නේ.
ඒ අතර, මෙරට පොලිසියේ විවිධ මට්ටම්වල නිලධාරීන් ද සිටින බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කළා.
මේ අතර, අදාළ පොලිස් කණ්ඩායම් ඔස්සේ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා කවර ක්‍රමයකින් හෝ ඉවත් කිරීමේ උත්සාහයක් පවතින බවටත් පොලිසිය තුළ කතාබහක් නිර්මාණය වෙමින් පවතිනවා.
කෙසේ වෙතත් මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ නිත්‍යානුකූලව රාජකාරී කරන කිසිඳු නිලධාරියෙකුට වර්තමාන පාලනය යටතේ අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවයි.