පැලවත්ත නිවසක අන්තර්ජාල සූදු ක්‍රීඩාවේ නිරත වූ ඉන්දීය ජාතිකයින් 11 ක් අල්ලයි

පැලවත්ත නිවසක අන්තර්ජාල සූදු ක්‍රීඩාවේ නිරත වූ ඉන්දීය ජාතිකයින් 11 ක් අල්ලයි

මතුගම හා අවට ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතුවල නිරත වූ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට ගැනීමට තෙඹුවන පොලිසිය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව අදාළ සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ඇතුළු ජාවාරමට අදාළ විවිධ උපකරණ සොයා ගැනීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ.

මතුගම, හොරණ හා හඟුරුවාතොට ආදී ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයෙක් සම්බන්ධයන් තෙඹුවන පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව විශේෂ මෙහෙයුමක් සිදු කර තිබුණා.

ඒ අනුව තෙඹුවන දෙල්ගොඩ පන්සල අසලදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කළේ.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී තවත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 310ක් මෙන්ම මත්ද්‍රව්‍ය කිරීම සඳහා යොදා ගන්නා විද්‍යුත් තරාදියක්, ජංගම දුරකථන ඇතුළු විවිධ උපකරණ සොයා ගැනීමට පොලිසියට හැකි වුණා.

තෙඹුවන බිංදු නමැත්ති අන්වර්ත නාමයෙන් හඳුන්වන අදාළ සැකකරු මතුගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු දින 7ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි අධිකරණය වසර ලබා දුන්නේ.

මේ අතර මිනුවන්ගොඩ ප්‍රදේශයේදී ගිනිඅවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය කටයුතු කර තිබෙනවා.

දෙවොලපොල ප්‍රදේශයේදී අදාළ සැකකරු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර 55 හැවිරිදි අදාළ සැකකරු මීගස්පිටිය ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර හම්බේගමුව පොලිසියේ නිලධාරීන් එම ප්‍රදේශයේ කළ මෙහෙයුමකදී ගංජා වගාවක් පවත්වාගෙන ගිය පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී වගාකර තිබූ ගංජා වගාව විනාශ කිරීමට පොලිසිය කටයතු කර ඇති අතර සැකකරුවන් අද වැල්ලවාය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර මඳුරාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අනුයුක්ත පරිගණක දත්ත ක්‍රියාකරුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යකඩ පොලු උපයෝගි කර ගනිමින් එම පහරදීම සිදු කර ඇති අතර පොලිසිය මැදිහත්වීම මත අදාළ පුද්ගලයාගේ දිවි බේරා ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

සැකකරුවන් අතර බස් රථ රියදුරන් දෙදෙනෙකු සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර පැලවත්ත ප්‍රදේශයේ නිවසක අන්තර්ජාලය ඔස්සේ සූදු ක්‍රීඩාවේ නිරත වූ ඉන්දීය ජාතිකයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට තලංගම පොලිසිය කටයුතු කර තිබෙනවා.

යුද හමුදා බුද්ධි අංශ වෙත ලද තොරතුරකට අනුව අදාළ වැටලීම සිදු කර ඇති අතර එහිදී සැකකරුවන් සතුව තිබී පරිගණක 3ක් සහ ජංගම දුරකථන 20ක් සොයා ගැනීමටයි පොලිසිය කටයුතු කළේ.

Share This