
පුටින්, ඉරාන සටනට මැදිහත් නොවීමට හේතු කියයි – ඉරාන උත්තරීතර නායකයා ගෙන් නිවේදනයක්
එක්සත් ජනපදය ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කර ගැනීමෙන් පසුව පවා, රුසියාව, ඉරානයේ ගලවා ගැනීමට සෘජුවම පැමිණීම වෙනුවට පැත්තකට වී සිටින්නේ මන්දැයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අද පැහැදිලි කර තිබෙනවා.
පුටින් පැවසුවේ රුසියාව සහ ඉරානය දශක ගණනාවක් තිස්සේ සමීප සබඳතා පවත්වා ඇතත්, රුසියානු භාෂාව කතා කරන විශාල පිරිසක් ඊශ්‍රායලයේ ජීවත් වන බැවින් ගැටුමේදී මධ්‍යස්ථව සිටීමට උත්සාහ කරන බවයි.
ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සංසදයක් අතරතුර, පුටින් මේ අදහස් පැවසුවා.
“පැරණි සෝවියට් සංගමයෙන් සහ රුසියානු සමූහාණ්ඩුවෙන් මිලියන දෙකකට ආසන්න ජනතාවක් ඊශ්‍රායලයේ වාසය කරන බව ඔබේ අවධානයට යොමු කිරීමට මම කැමතියි.
එය අද රුසියානු භාෂාව කතා කරන රටක් වගේම, නිසැකවම, රුසියාවේ සමකාලීන ඉතිහාසයේ අපි මෙය සැමවිටම සැලකිල්ලට ගනිමින් සිටිනවා.” රුසියානු ජනාධිපතිවරයා තවදුරටත් පැවසුවා.
මේ අතර අද අලුයම සතුරු දෙපාර්ශ්වය අතර ගුවන් ප්‍රහාර එල්ල වූණා.
ඇමරිකානු යුද ගුවන් යානා සති අන්තයේ න්‍යෂ්ටික ස්ථාන තුනකට එල්ල කළ බංකර්-බස්ටර් බෝම්බ සම්බන්ධයෙන් පළිගැනීමට ටෙහෙරාන් පාලනය ඊයේ සපථ කළා.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ප්‍රහාරය ඉරානයේ න්‍යෂ්ටික හැකියාවන් “මකා දැමූ” බව අවධාරණය කළ නමුත් අනෙකුත් නිලධාරීන් පැවසුවේ ටෙහෙරානයේ න්‍යෂ්ටික වැඩසටහනට කෙතරම් සැලකිය යුතු ලෙස බලපා ඇත්ද යන්න තීරණය කිරීමට ඉක්මන් වැඩි බවයි.
මේ අතර එක්සත් ජනපදය ටෙහෙරානයේ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනට බෝම්බ හෙලීමෙන් පසු ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සිය පළමු ප්‍රතිචාරයේදී, “සියොන්වාදී සතුරාට” – ඊශ්‍රායලය ගැන සඳහන් කරමින් – දඬුවම දිගටම පවතින බව පැවසුවා.
ඔහු නිකුත් කළ x පනිවිඩයේ තවදුරටත් පවසන්නේ “සියොන්වාදී සතුරා විශාල වැරැද්දක් කර තිබෙනවා. එය විශාල අපරාධයක් . එයට දඬුවම් කළ යුතු වගේම දැනටමත් දඬුවම් ලැබෙමින් පවතිනවා; ” යැයි ඔහු පැවසුවා.
ගුවන් ප්‍රහාර මෙන් පෙනෙන පින්තූරයක් ද කමේනි බෙදා ගත්තා.
එම රූපයේ මධ්‍යයේ හිස් කබලක් ඇති අතර එහි නළලේ ‘ඩේවිඩ්ගේ තාරකාවක්’ තිබෙනවා. එය සාමාන්‍යයෙන් සැලකෙන්නේ යුදෙව් අනන්‍යතාවය සහ යුදෙව් ආගම යන දෙකම නියෝජනය කරන ඊශ්‍රායල ධජයේ සංකේතයක් ලෙසයි.
එක්සත් ජනපද ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු, ඉරානය – ඊශ්‍රායලයට එල්ල කළ ප්රහාරවලදී අධික බරක් රැගෙන යා හැකි විශාලතම මිසයිලය ටෙහෙරානය භාවිතා කිරීමෙන් දිනකට පසුව කමේනිගේ ප්‍රකාශය පැමිණීම ද විශේෂත්වයක්.
ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායට (IRGC) අනුව, ඔවුන් එක්සත් ජනපද ක්‍රියාමාර්ගයෙන් පසු අවම වශයෙන් මිසයිල 40 ක් දියත් කර තිබෙනවා.
ඊට කොරාම්ෂහර්-4 ද ඇතුළත්.
ඊයේ (22) මුලදී, කමේනිගේ සහායක හොසේන් ෂරියත්මදාරි “ප්‍රමාදයකින් තොරව” පළිගැනීමේ අනතුරු ඇඟවීමක් කළ අතර හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දමන බවට තර්ජනය කළා.
“දැන් ප්‍රමාදයකින් තොරව ක්‍රියා කිරීමට අපගේ වාරය පැමිණ තිබෙනවා. පළමු පියවර ලෙස, අපි බහරේනයේ ඇමරිකානු නාවික බලඇණියට මිසයිල ප්‍රහාරයක් දියත් කළ යුතුයි. ඒ සමඟම ඇමරිකානු, බ්‍රිතාන්‍ය, ජර්මානු සහ ප්‍රංශ නැව් සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමිය යුතුයි,” යනුවෙන් ඔහු ඉරාන මාධ්‍යයකට පැවසුවා.
ජූනි 13 වන දින ටෙල් අවිව් විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එරෙහිව ‘ඔපරේෂන් රයිසින් ලයන්’ ලෙස හැඳින්වූ මෙහෙයුම දියත් කිරීමෙන් පසු දිගුකාලීන සතුරන් වන ඉරානය සහ ඊශ්‍රායලය අතර යුද උණුසුම උත්සන්න වුණා.