
පොලිසියේ පහර දීමකින් මියගිය සැකකරුවකුගේ පවුලට රුපියල් ලක්‍ෂ 25ක වන්දි ගෙවන ලෙස මානව හිමිකම් කොමිසමෙන් නියෝග
පොඩි ලැසී නමැති සංවිධානාත්මක පාතාල කල්ලි සාමාජිකයෙකුගේ මත්ද්‍රව්‍ය ජාලයේ සාමාජිකයෙකු බව කියමින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාසය විසින් සිදු කළ පහරදීමකින් මියයාමේ සිද්ධියට අදාළව රුපියල් ලක්‍ෂ 25ක වන්දි ගෙවන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නියෝග කර තිබෙනවා.
අදාළ පුද්ගලයාගේ දේහය පිළිබඳව මරණ පරීක්‍ෂණයේදී හෙළිව තිබෙන්නේ පොලිසියෙන් ඔහුව බරපතල ලෙස කෲරත්වයට පත්කර ඇති බවයි.
නාරාහේන්පිට වෘත්තීය පුහුණු අධිකාරිය අසලදී පොලිස් අත්අඩංගුවට පත් වූ විවාහක තරුණයෙකු තද බල ලෙස සිදු කළ පහරදීම් හමුවේ මියගොස් තිබුණේ 2023 වසරේ ජනවාරි 13 වැනිදායි.
සමන් ප්‍රීති කුමාර නමැති පුද්ගලයා අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ඔහුව සිය කාර්යාලයට රැගෙන යාම වෙනුවට තම නිලධාරී බැරැක්කය පසු පස පාළු ස්ථානයකටයි රැගෙන ගොස් තිබුණා.
එහි අරමුණ වී තිබුණේ පොලිසියේ ක්‍රමයට මත්කුඩු ජාවාරමක් පිළිබඳ ප්‍රශ්න කිරීමයි.
එම ප්‍රශ්න කිරීම්වලින් පසු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලයේ නිලධාරීන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට අදහස් කළත් ඒ වෙනුවට ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට ඔවුන්ට සිදුව තිබුණා.
ඒ වනවිට පොලිසියේ සංග්‍රහ කිරීම් හමුවේ සැකකරු සිහිසුන් තත්ත්වයේ පසුවුණේ සිරුරේ විවිධ තැන්වල තුවාල 49ක්ද සහිතවයි.
තම සැමියාව පැහැරගෙන ගොස් කෲර වදහිංසාවන්ට ලක්කර ඝාතනය කිරීම පිළිබඳ ඔහුගේ බිරිඳ පසුකාලීනව මානව හිමිකම් කොමිසමේ පිහිට පැතුවා.
එහිදී ඇරඹුණු විමර්ශනයේ දී සැකකරු අත්අඩංගුවට ගැනීමට නාරාහේන්පිටට ගිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උපපොලිස් පරීක්‍ෂකවරයා ඇතුළු 09 දෙනා පවසා ඇත්තේ පොඩි ලැසී නමැති ප්‍රධානපෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මත්ද්‍රව්‍ය අලෙවි කරන අයෙකු නාරාහේන්පිට සිටින බවට තම පෞද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලද ඔත්තුවකට අනුව ගොස් අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
අනතුරුව සැකකරු ජාවාරමේ වැඩිදුර තොරතුරු හෙළිකිරීමට නිස්කලංක තැනකට යමු යැයි කී නිසා ඔහුව රැගෙන තම පොලිස් බැරැක්කය පසුපසට ගිය බවත් ඔවුන් පවසා තිබෙනවා.
එහිදී ඔවුන් මෙලෙස පවසා තිබෙනවා.
“අපි සැකකරු බැරැක්කය පසු පසට ගෙන ගොස් ටිකක් ප්‍රශ්න කරද්දී ඔහුට වැසිකිලි යන්න ඕන කිව්වා. ඊට පසු එක් මාංචුවක් ගලවා අපි ඔහුව රැගෙන ගියා. පොලිස් නිලධාරීන් දෙදෙනෙකුත් ඔහු එක්ක ගියා. බහිශ්‍රාව්‍ය කටයුත්තතෙන් පස්සෙ සැකකරු ගලක් අරන් නිලධාරීන්ට ගහලා තියෙනවා. පසුව වීදුරු බෝතලයකිනුත් ගහලා. නිලධාරියෙකුට තුවාල වෙලා. ඒ වෙලාවෙ ආත්මාරක්‍ෂාව වෙනුවෙන් ඔහු සැකකරුට ලී කැබැල්ලකින් පහරක් එල්ල කරලා තියෙනවා. ඊට පස්සේ ඔහු කෝච්චිපාර දිගේ වැටි වැටී යළි නැගිට දිව්වා. ඔහු හඹා ගිය නිලධාරීන් සැකකරු ආපසු අරගෙන ආවට පස්සේ සිහිසුන්ව වැටුණා. පසුව ඔහුව රෝහල්ගත කලා. එහිදී දැනගත්තා එම පුද්ගලයා මිය ගිහින් කියලා.”
මානව හිමිකම් කොමිසම මේ ප්‍රකාශය පිළිබඳව දැඩි අවධානය යොමු කර ඇති අතර, ඔවුන් සකස් කළ වාර්තාව මඟින් පොලිසිය කියන කතාව නොපිළිගනිමින් දක්වා ඇත්තේ පොලිසිය කියන පරිදි අදාළ පොර බැදීමේදී සැකකරුට බරපතල තුවාල 49 ක් සිදුවුවත් ඊට එක්වූ පොලිස් නිලධාරීන් 8 දෙනා ඊට සමානුපාතිකව කිසිඳු තුවාලයක් සිදුනොවීම ප්‍රශ්න සහගත බවයි.
එමෙන්ම පුරුදු පුහුණු කළ නිලධාරීන් 8 දෙනෙකුට එක් පුද්ගලයෙකු මෙල්ල කර ගැනීමට නොහැකිවීමත් ප්‍රශ්න කාරි ලෙස දක්වා තිබෙනවා.
තම නිර්දේශ ලබාදීමට පෙර මානව හිමිකම් කොමිසම සැකකරුගේ මරණයට හේතු දක්වා ඇති අධිකරණ වෛද්‍ය වාර්තාව වෙතද අවධානය යොමුකර තිබෙනවා.
එම වාර්තාව අනුව පොලිස් අත්අඩංගුවේදී මියගිය පුද්ගලයාගේ සිරුරේ තුවාල 49ක් ඇති අතර, හිස, කඳ පිටුපස, තට්ටම් හා අත්, පාවල පටකවල මැද සිට දරුණු රුධිර වහනයක් සිදුව තිබෙනවා.
ආයුධ ප්‍රහාර රැසක් ද නිරීක්‍ෂණය කරන අධිකරණ වෛද්‍ය නිලධාරියා අදාළ ප්‍රහාරය මඟින් හිතාමතා සිදු කළ ප්‍රචණ්ඩත්වය පිළිබිඹු වන බවත් අවධාරණය කරනවා.
අධිකරණ වෛද්‍යවරයා මරණයට හේතුව ලෙස මොට ආයුධ ප්‍රහාර හා අභ්‍යන්තර ලේ වහනය මත ඇති වූ කම්පණ තත්ත්වයක් බවයි දක්වා ඇත්තේ.
ඒ අනුව මානව හිමිකම් කොමසමේ නිගමනය ද වන්නේ එය පොලිසිය භාරයේ සිටියදී සිදු වූ කෲර අමානුෂික වද හිංසාව මත සිදු වූ මරණයක් බවයි.
මේ අතර, මියගිය පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට අදාළ නිලධාරීන් 09 දෙනා ගොස් ඇත්තේ පෞද්ගලික ඔත්තුකරුවෙකු හිතුමතේම දුන් තොරතුරක් තහවුරු කරගැනීමකින් ද තොරවයි.
ඊට අමතරව අදාළ අත්අඩංගුවට ගැනීම සඳහා මේ පිරිස යන බව ඔවුන්ගේ ඉහළ නිලධාරීන් දැන සිට නොමැති බවත්, මානව හිමිකම් කොමිසමේ විමර්ශනයේදී හෙළිව තිබෙනවා.
එසේම සැකකරුවෙකු අත්අඩංගුවට ගත් පසු පොලිසියට රැගෙන යායුතුව තිබුණත්, එසේ නොකොට වෙනත් ස්ථානයකට ගෙනයාම වරදක් බව මානව හිමිකම් කොමිසම සිය වාර්තාවෙන් පෙන්වා දීමටයි පියවර ගෙන තිබෙන්නේ.
මේ සියලු කරුණු සලකා බලා ඇති මානව හිමිකම් කොමිසම අදාළ වැටලීමට ගිය පොලිසියේ 9 දෙනාගෙන් පළමු වගඋත්තරකරු මියගිය පුද්ගලයාගේ ඥාතිත්වයට රුපියල් ලක්‍ෂ 10ක වන්දි මුදලක් ගෙවිය යුතු බව තීරණය කර තිබෙනවා.
තවත් 7 දෙනෙකු රුපියල් ලක්‍ෂ 2 බැඟිනුත් දෙවැනි විත්තිකරු රුපියල් ලක්‍ෂයකුත් ගෙවිය යුතු බවයි එම කොමිසම නියෝග කර ඇත්තේ.
ඒ අනුව අදාළ රුපියල් ලක්‍ෂ 25ක මුදල ලබන 28 වැනිදාට පෙර ගෙවීමටත් නියෝග කරන මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාට දන්වා ඇත්තේ සිද්ධියට වගකිවයුතු පොලිසියේ 09 දෙනා සම්බන්ධයෙන් වහා විනයානුකූල ක්‍රියාමර්ග ගන්නා ලෙසයි.