
පොසොන් පොහොය නව යුගයට පින්බර ආශීර්වාදයක් වේවා – අගමැතිනියගේ පොසොන් දින පණිවුඩය
සමස්ත රටම නැවතත් නව පුනරුද යුගයක් වෙනුවෙන් කලඑළි වන සමයක, මෙවර පොසොන් පොහොය ඒ නව යුගයට පින්බර ආශීර්වාදයක් වේවායි යන්න සිය ප්‍රාර්ථනය බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පොසොන් පොහෝ දිනය වෙනුවෙන් පණිවිඩයක් නිතුත් කරමින් පැවසුවා.
මිහිඳු මහරහතන් වහන්සේ උතුම් සද්ධර්මයේ පණිවිඩය රැගෙන ලක්දිවට වැඩම කළ සුවිශේෂී අවස්ථාව ඉමහත් ගෞරවයෙන් සමරන සියලු බෞද්ධ බැතිමතුන්ට පින්බර පොසොන් පුන් පොහෝ දිනයක් වේවායි ප්‍රාර්ථනා කරන බව අගමැතිනිය නිකුත් කළ පණිවිඩයේ සඳහන් වේ.
එම පණිවිඩය,
“අනුබුදු දහමින් ලොවම නිවේවා” යන්න මෙවර රාජ්‍ය පොසොන් උත්සවයේ තේමා පාඨය යි. ඒ අනුව ලොව ශ්‍රේෂ්ඨ ධර්ම මාර්ගයක එළිය අපගේ ජීවිත වෙත ළඟා කරදීමට අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ගමන් කළ සදහම් මඟ පිළිබඳ යළි යළිත් සිතමින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවෙන් අපගේ ජීවිත වෙත ආලෝකය සහ ශාන්තිය ළඟා කරගැනීම උදෙසා කටයුතු කිරීම ඉතා වැදගත් වේ.
බෞද්ධාගමික ඉතිහාසයට අනුව මෙරට තුළ අවිහිංසාවාදී ජන ප්‍රජාවක් බිහි වීමේහිලා පළමු පියවර තැබෙන්නේ ද පොසොන් පෝදා නිමිති කරගනිමිනි. උදාර සංස්කෘතික ජීවිතයක් ඇති සහකම්පනයෙන් යුතු ජනතාවක් බිහි කිරීමේ පරම වගකීම දරාගත් රජයක් ලෙස අපි අනුබුදු මිහිඳු හිමියන් රැගෙන ආ අවිහිංසාවාදයේ හා සහජීවනයේ පණිවිඩය තව තවත් ඔපමට්ටම් කරමින් බබළවන්නට උපරිම වෙර දරන්නෙමු.
සැමට පින්බර පොසොන් මංගල්‍යයක් වේවා.