බදු අයකර ගැනිම වඩාත් කාර්යක්ෂම කිරීමට පවතින නීති සංශෝධනය කිරීමට කඩිනම් පියවර

බදු අයකර ගැනිම වඩාත් කාර්යක්ෂම කිරීමට පවතින නීති සංශෝධනය කිරීමට කඩිනම් පියවර

රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීම උදෙසා කළ යුතු නෛතික සංශෝධන සඳහා අදහස් ලබා ගැනීමේ විශේෂ රැස්වීමක් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා .

ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව හා සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතන නියාමනය කිරීම සඳහා අවශ්‍ය නීතිමය සංශෝධන ගෙන ඒම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා

මෙහිදී අදහස් දැක්වු ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැහැදිලි කළේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කාරක සභාව හමුවට අවස්ථා කීපයකදී ගෙන්වා සාකච්ඡා කළ බවත් එහිදී හඳුනාගත් ගැටලු ගණනාවක් පවතින බවයි.

සභාපතිවරයා වැඩිදුරටත් පැහැදිලි කළේ ඕනෑම පුද්ගලයකුට බදු නොගෙවා වසර 15 සිටිය හැකි බවයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බදු ලිපිගොනුවක් තක්සේරු කිරීම සඳහා පවතින පනත යටතේ මාස 30 සහ අභියාචනා සලකා බැලීම සඳහා තවත් මාස 24 පවතිනවා .

ඒ අනුව බදු ලිපිගොනුවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ මාස 54කට අධික කාලයක් පවතින අතර ඉන්පසු බදු අභියාචනා කොමිෂන් සභාවට අභියාචනා කළ පසු පනතට අනුව ඔවුන්ට වසර 2 කාලයක් ඒ සඳහා හිමි වන බවයි ඔහු පවසා සිටියේ .

ඉන් පසු අභියාචනාධිකරණයට හා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කළ හැකි බවත් මේ සඳහා ආසන්න වශයෙන් වසර 15 කට අධික කාලයක් ගත වන බවත් සඳහන් කළා .

මෙම සාකච්ඡාවේදී මතු වු කරුණු ඇතුළත් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තු පනතට ගෙන ආයුතු සංශෝධන කෙටුම්පත් කිරීම නීතිපතිතුමා හා පනත් කෙටුම්පත් සම්පාදක විසින් සිදු කිරීමටත් එම සංශෝධනය සකස් කළ පසු ඉදිරි දිනෙක පාර්ලිමේන්තුවේදී රැස්වී නැවත සාකච්ඡා කිරීමටත් කමිටුව තීරණය කර තිබෙනවා

Share This