බල්ලන් මරණ හගුරන්කෙත හක්ක පටස් උගුල්

බල්ලන් මරණ හගුරන්කෙත හක්ක පටස් උගුල්

මිනිසුන් ගේ පිරිහීම උග්‍ර වූ විට “බල්ලන් මරා හෝ සල්ලි හොයනවා ‍යැයි සමාජයේ කියමනක්” තිබෙනවා.

ඇතැම් නොමිනිසුන් ගේ ක්‍රියා බොහෝ විට මේ තත්ත්වය ඉක්මවා යමින් තිබෙන සමාජයක අපට ජීවත් වීමට සිදුවීම ගැඹුරු කනස්සල්ල මතු කරන්නක්.

වන සතුන් දඩයමට යොදාගන්නා පුපුරණ ද්‍රව්‍ය යොදාගෙන සුනඛයින් මරා දමන නොමිනිස් ක්‍රියාවක් වාර්තා වුණේ හඟුරන්කෙත,හෝප් වතුයායෙන්.

හෝප් වතුයායේ කැලෑ බද ප්‍රදේශවල වෙසෙන ඌරන්, මුවන් සහ ගෝණුන් වැනි සතුන් දඩයම් කිරීම සඳහා ඇතැම් පිරිස් විසින් නීති විරෝධී ක්‍රම භාවිත කරන බවට තොරතුරු වාර්තා වී තිබුණා.

අනවසර විදුලි රැහැන්, උගුල් ඇටවීම්, සහ අතිශය විනාශකාරීන් හක්ක පටස් යන පුපුරන ද්‍රව්‍ය යොදා ගෙන සකසන උගුල්ද මේ අතර ප්‍රධාන තැනක් ගනියි.

හක්ක පටස් යන උගුල් ක්‍රමයේ අදාළ උපකරණය බොහෝ විට එහි ඇති මාංශ රසය නිසා සුනඛයින් විසින් රැගෙන ගොස් කා දැමීමෙන් මෙම උගුල් අටවන්නන්ගේ අපේක්ෂිත පරමාර්ථ ඉටු නොවීම නිසා ඔවුන් ඉතා කුඩා ප්‍රණයේ පුපුරන ද්‍රව්‍ය යොදා සකසන මෙම උගුල් ආධාරයෙන් මෙම සුනඛයෙන් විනාශ කිරීම කලක පටන් සිදුවන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

ඊයේ හවස ද හෝප් වතුයායේ පහළ කොටසේ නිවසක ඇති කරන සුනඛයෙන් දෙදෙනෙක් මෙසේ සොයාගෙන පැමිණ හක්ක පටස් උගුල් ආහාරයට ගැනීමෙන් එක් සුනඛයෙක් පුපුරා මියගොස් ඇති අන්දම දක්නට ලැබුණා.

නිවසේ හිමියන් පවසන්නේ රාත්‍රී අටට පමණ සුනඛයින්ට ආහාර ලබා දීමෙන් පසු තමන් නිවස තුළට වී සිටින අවස්ථාවේදී පිපුරුම් ශබ්දයක් ඇසී බලන විට, ඒ ගැන විපරම් කිරීමේදී තම සුරතලා වූ සුනඛයා පිපිරි මිය ගොස් ඇති අන්දම දුටුබවයි.

මේ පිළිබදව හඟුරන්කෙත පොලිස් ස්ථානය දැනුවත් කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පවත්වා මෙවැනි විනාශකාරී උගුල් අටවන පිරිස් වහා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිනවා.

 

Share This