බැකෝ සමන්ගේ බිරිඳ සජිකාගේ සහ ඇගේ සමීපතමයින්ට අයත් බැංකු ගිණුම් 13ක් තහනම් කෙරේ

බැකෝ සමන්ගේ බිරිඳ සජිකාගේ සහ ඇගේ සමීපතමයින්ට අයත් බැංකු ගිණුම් 13ක් තහනම් කෙරේ

මේවන විට රිමාන්ඩ් භාරයේ පසුවන බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන සජිකා ලක්ෂානී පත්තිනිගේ නමැත්තියට සහ ඇයගේ සමීපතමයින්ට අයත් බැංකු ගිණුම් 13ක් තහනම් කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

අදාළ පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී, විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය මෙම දැනුම්දීම සිදු කළා.

මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී රිමාන්ඩ් භාරයේ පසුවන ෂාධිකා ලක්ෂානී නමැත්තිය දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එහිදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඇය මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් අතිවිශාල මුදලක් උපයාගෙන තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළාය.

මෙම සැකකාරියගේ සහෝදරිය වන ලක්ෂානි දේශාංජලී පත්තිනිගේ නමැත්තියගේ බැංකු ගිණුම් දෙකක 2024 වසරේ රුපියල් ලක්ෂ 563ක මුදලක් සහ 2025 වසරේ රුපියල් ලක්ෂ 202ක් මුදලක් සංසරණය වී ඇති බවට විමර්ශනවලින් කරුණු අනාවරණය වී ඇතැයි ද ඇය පැවසුවාය.

මෙම සැකකාරියගේ පියා වන පත්තිනිගේ සුනිල් ශාන්ත පත්තිනිගේ නමැත්තාගේ බැංකු ගිණුමේ රුපියල් ලක්ෂ 211ක් මුදලක් සංසරණය වී ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය වෘත්තියෙන් ගඩොල් කපන්නෙකු වන මෙම පුද්ගලයාගේ බැංකු ගිණුමේ මෙතරම් විශාල මුදලක් සංසරණය වූයේ කෙසේදැයි බරපතළ සැකයක් මතුවන බවත් සඳහන් කළාය.

මත්ද්‍රව්‍ය ජාවාරම හරහා මෙම මුදල් සංසරණය වන්නට ඇතැයි සැකකරන පොලීසිය එම මුදල් තැන්පත් කළ පුද්ගලයින් හා ඒ හා සම්බන්ධ ජාලය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පෙන්වා දුන්නාය.

Share This