සිරකුටියේ සිදු වූ මරණය ගැන ආන්දෝලනයක් – විරෝධතාවට පැමිණි අයෙක් බවට සමගියෙන් ප්‍රකාශයක්(Update)

සිරකුටියේ සිදු වූ මරණය ගැන ආන්දෝලනයක් – විරෝධතාවට පැමිණි අයෙක් බවට සමගියෙන් ප්‍රකාශයක්(Update)

ඊයේ (16) පැවති සමගි ජන බලවේගයේ විරෝධතා පා ගමනට සහභාගී වීමට පැමිණි අයෙකු පොලිස් පහරදීමකින් මිය ගොස් ඇති බව තමන්ට දැනගන්නට ලැබුණු බව එම පක්ෂයේ මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී අද (17) සඳහන් කළා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ද අද අයවැය විවාදයේ දී සිය කතාව ආරම්භ කළේ මියගිය පුද්ගලයාට ශෝකය පළ කරමිනුයි.

මෙලෙස මියගිය බව කියන පුද්ගලයා පිළිබඳව අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුව අමතමින් කරුණු පැහැදිලි කළ අතර එහිදී අමාත්‍යවරයා කරුණු සඳහන් කළේ පනාමුර පොලිස් ස්ථානයේ සිර මැදිරියේ දී මියගිය බවට LIVEAT8.LK අද (17) පෙරවරුවේ වාර්තා කළ පුද්ගලයා පිළිබඳවයි.

………………………………………………..

සැකකරුගේ මරණය සැකයට – පනාමුරේ පොලිසිය ගැන ගත් තීරණය මෙන්න(Update)

Nov 17, 2021 at 10:30

පොලිස් සිර මැදිරියේ රඳවා සිටි පුද්ගලයෙකු අද (17) පෙරවරුවේ මියයෑමේ සිදුවීම සම්බන්ධයෙන් පනාමුර පොලිස් ස්ථානයේ  නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් මෙන්ඩිස් මහතා සඳහන් කළේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු යටතේ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය යටතේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ දෙකක් පවත්වන බවයි.

තමන්ට හා දියණියට පහර දෙන බව පවසා මියගිය අයගේ බිරිඳ පොලීසියට කළ දැනුම් දීමකට අනුව ඊයේ (16) රාත්‍රී ඔහුව අත්අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරියේ රඳවා සිට ඇති අතර පසුව ගෙල වැළලාගෙන ඇති බවයි පනාමුර පොලිස් ස්ථානයේ නිලධාරීන් සඳහන් කර සිටියේ.

මෙම පුද්ගලයාගේ මරණය සැකසහිත බව පවසමින් දහසකට අධික පිරිසක් පොලිසිය අසළට රැස්ව විරෝධය දැක්වූ අතර ඔවුන් සඳහන් කළේ පහරදීම නිසා මරණය සිදුව ඇති බවයි.

(ප්‍රගීත් ජනක – ඇඹිලිපිටිය )

…………………………………………..

බිරිඳගේ පැමිණිල්ලට ගෙනා සැමියා සිර කුටියේ මරුට – ගම්මු ආවේගශීලිව පොලිසිය ඉදිරිපිට

Nov 17, 2021 at 10:03

පනාමුර පොලිස් සිර මැදිරියේ රඳවා සිටි පුද්ගලයෙකු අද (17) පෙරවරුවේ මියගොස් තිබෙනවා.

තමන්ට හා දියණියට පහර දෙන බව පවසා මියගිය අයගේ බිරිඳ පොලීසියට කළ දැනුම් දීමකට අනුව ඊයේ (16) රාත්‍රී ඔහුව අත්අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරියේ රඳවා සිට ඇති අතර පසුව ගෙල වැළලාගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

මෙසේ මියගොස් ඇත්තේ පනාමුර වැලිපොත යාය පදිංචි කරලහින්ගේ ඉන්දික ජයරත්න නම් අයෙකි.

මෙම පුද්ගලයාගේ මරණය සැකසහිත බව පවසමින් දහසකට අධික පිරිසක් මේ වනවිට පොලිසිය අසළට රැස්ව විරෝධය දක්වන අතර ඔවුන් පොලිස් ස්ථානයට ඇතුළු වීමේ සුදානමක් ඇති බවයි liveat8.lk වාර්තාකරු සඳහන් කළේ.

එම ස්ථානයේ ඡායාරූප පහතින් දැක්වෙනවා.

(ප්‍රගීත් ජනක – ඇඹිලිපිටිය )

Share This